කිසිවකු අත් හරින්නේ නෑ: Airtel-NIMH මානසික සෞඛ්‍ය උපකාරක සේවාව දැන් පැය 24 පුරාවට

    April, 10, 2023

    සියලූම ශ‍්‍රී ලාංකිකයන් සඳහා වෘත්තීය මානසික සෞඛ්‍ය සේවාවන් සඳහා පහසුවෙන් හා ඉක්මනින් ප‍්‍රවේශ වීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් එයාර්ටෙල් ලංකා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIMH) සමඟ එක්ව සිය Whatsapp සේවාව හරහා මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් 24/7 දක්වා පුළුල් කරන බව නිවේදනය කළේය.

    මෙම සේවාව 24/7 පුරාවට ක‍්‍රියාත්මක සේවාවක් දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇත්තේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් අපහසුතාවලට මුහුණ දෙන  ඕනෑම අයෙකුට විශ්වාසනීය ලෙස කිසිඳු ගෙවීමකින් තොරව උපකාර ලබා ගැනීමටත් ඔවුන්ට දවසේ  ඕනෑම වේලාවක කාරුණික සහ සැනසුම්දායක ප‍්‍රතිචාරයක් සහතික කිරීම උදෙසාය.

    මීට පෙර, NIMH වෙත දවසේ 24/7 වෙත ප‍්‍රවේශ විය හැකි වූයේ 1926 උපකාරක සේවාව හරහා පමණක් වූ අතර SMS සහ Whatsapp යන සේවා ඔස්සේ පෙ.ව. 8 සිට ප.ව. 4 දක්වා පමණක් සම්බන්ධ වීමට සීමා කර තිබුණි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ‍්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ”ශ‍්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් දැඩි අවිනිශ්චිතතාවයකට මෙන්ම ආතතියට හා කාංසාවට මුහුණ දී සිටින මොහොතක, අප විශ්වාස කරනවා සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට ඔවුන්ගේ මානසික සෞඛ්‍යය වඩාත් ඵලදායී ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය සහාය ලබා ගැනීමට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි බව සහතික කිරීම සඳහා ජංගම දුරකතන තාක්ෂණය වඩාත් හොඳින් භාවිතා කළ හැකි බව. මේ ආකාරයට කිසිදු ශ‍්‍රී ලාංකිකයෙකු අත් නොහරින බවට අපට සහතික විය හැකියි,” යනුවෙනි.

    ඉදිරියේදී, එයාර්ටෙල් විසින් මානසික සෞඛ්‍යයේ ඇති වැදගත්කම පිළිබඳවත් අභියෝගවලට මුහුණ දෙන මෙරට තරුණ ශ‍්‍රී ලාංකිකයන්ට ලබා ගත හැකි සේවාවන් පිළිබඳවත් දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය. ඒ සඳහා NIMH විසින් පවත්වනු ලැබූ චිත‍්‍ර සහ ත්‍රෛභාෂා රචනා තරඟ සඳහා එයාර්ටෙල් අනුග‍්‍රහය දැක්වීය. 2022 ඔක්තෝම්බර් මස යෙදුනු ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙන්, දැනට පවතින සන්නිවේදන සේවා උපරිම ලෙස භාවිතයට ගනිමින් සහ අධ්‍යාපන ආයතන සමඟ එයාර්ටෙල් හි ඇති හවුල්කාරිත්වයන් ද සමඟින් මෙම සැසි මගින් දීප ව්‍යාප්ත පාසල්වල සියලූම ශ්‍රේණිවල සිසුන් සඳහා සේවාවන් සැලසීය.

    ”රට අගුලූ දැමීම් සහ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ, 1926 සේවාව හරහා නොයෙක් ආකාරයේ මානසික සෞඛ්‍ය ගැටලූවලට උදව් උපකාර අවශ්‍ය ශ‍්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාවේ වැඩි වීමක් අපිට දකින්නට ලැබුණා. විශේෂයෙන්ම අපගේ තරුණ පරිශීලකයින්ට බොහෝ විට සවස් කාලයේදී Whatsapp සේවාව හරහා අප සමඟ නිදහසේ සම්බන්ධ විය හැකියි. මෙවැනි අත්‍යවශ්‍ය සේවාවන් පැය 24 පුරාවට ක‍්‍රියාත්මක කිරීමට සහ මෙම සේවාවේ ප‍්‍රවේශය පුළුල් කිරීමට අපට සහාය දැක්වීම ගැන අපි එයාර්ටෙල් කණ්ඩායමට කෘතඥ වෙනවා.’’ යනුවෙන් NIMH, ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය පැවසුවාය.

    2020 ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව දියත්කල මෙම කෙටි පණිවිඩ සේවාව මඟින් ගැටළුකාරී මානසික සෞඛ්‍යය හේතුවෙන් අභියෝගවලට මුහුණ දෙන බොහෝ පුද්ගලයන්ට සහය දැක්වීමට, සැනසීම ලබාදීමට සහ මගපෙන්වීම සැපයීමට අමතරව ජීවිත දහසකට අධික ප‍්‍රමාණයක් ජීවත් කර වීමට උපකාරී වී ඇත. ඉතා මෑතකදී, එයාර්ටෙල් NIMH සමඟ එක්ව මෙම කෙටි පණිවිඩ සේවාව Whatsapp හරහා ද සම්බන්ධ කරවමින් එයට ප‍්‍රවේශ වීමේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කළේය.

    ලොව පුරා සිටින තරුණ තරුණයින් සම්බන්ධ කිරීම සහ සවිබල ගැන්වීම සඳහා වන එයාර්ටෙල් හි ගෝලීය මෙහෙවර සමඟ ද මෙම මුලපිරීම සම්බන්ධ වේ. එයාර්ටෙල් දකුණු ආසියාව සහ අප‍්‍රිකාවේ රටවල් 17ක සිය මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බිලියන දෙකකට අධික පිරිසකට සේවාවන් සපයනු ලබයි. ගෝලීය වශයෙන් ඉහළම ජංගම දුරකතන සන්නිවේදන සමාගම් තුන අතරට ශ්‍රේණිගතව ඇති අතර එයාර්ටෙල් මෑත කාලයේදී කලාපය පුරා ඩිජිටල් භාවිතාව වැඩිදියුණු කිරීම සඳහා වන අවස්ථා නිර්මාණය කිරීමට Google සහ Meta වැනි ගෝලීය තාක්ෂණික දැවැන්තයින් සමඟ නව හවුල්කාරිත්වයන්වලද නිරත විය.

    ඔබ හෝ ඔබ හඳුනන වෙනත් අයෙකු ඔවුන්ගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් යම් ගැටලූවකට මුහුණ දෙන්නේ නම් 1926 අමතන්න, හෝ SMS කරන්න, නැතහොත් 075 555 1926 වෙත පණිවිඩයක් යැවීමෙන් Whatsapp සමඟින් chat කළ හැකිය. එයාර්ටෙල් පරිශීලකයින්ට මෙම සියලූම සේවාවන් සඳහා නොමිලේ අත්විඳිය හැකිය.