කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බහුතරයක් වසංගත සමයේ දී සිය ඩිජිටල් මෙවලම් භාවිතාව වර්ධනය කරගත් බවට Facebook සමීක්ෂණයක් මඟින් වාර්තා වේ

    November, 23, 2020

    කොවිඩ් -19 වසංගතයේ ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වගේම පාරිභෝගිකයන් සිය සමාජ මාධ්‍ය මෙවලම් වැඩියෙන් භාවිතා කිරීමට ඉහළ නැඹුරුවක් දක්වා ඇත්තේ කෙසේද යන ආකාරය පිළිබඳව සමීක්ෂණ වාර්තා දෙකක් මෑතක දී Facebook විසින් එළිදැක්වීය.

    කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටියයි. ව්‍යාපාර අංශයෙන් 75%ක් ඔවුන් නියෝජනය කරන අතර රටේ දළ දේශීය නිෂ්පාදිතයට ඔවුන්ගේ දායකත්වය 50%ක අගයක් ගනී.

    කොවිඩ්-19 වසංගත කාලය අතරතුර පාරිභෝගිකයන් සමඟ දිගින් දිගටම සම්බන්ධතාවය පවත්වා ගැනීමට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සිය ඩිජිටල් තාක්ෂණය සහ සමාජ මාධ්‍ය භාවිතාව වෙනස් කරගත්තේ කෙසේ ද යන ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීම උදෙසා COVID අර්බුදය සහ එයින් ප්‍රතිසාධනය වන ක්‍රියාවලියේ දී කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඩිජිටල් මෙවලම් භාවිතාව පිළිබඳව සමීක්ෂණයක් (Facebook - commissioned Digital Tools in Crisis and Recovery - Small and Medium Business) Deloitte විසින් සිදුකරන්නට යෙදිණි. මෙම සමීක්ෂණයේ නියැදි ලෙස තෝරාගත් ව්‍යාපාර අයිතිකරුවන් සහ කළමනාකරුවන්ගෙන් ආසන්න වශයෙන් 37%ක් අවුරුදු 35ට අඩු අයවන අතර 32%ක් කාන්තාවන් වේ. එසේම තෝරාගත් පිරිසෙන් 4%ක් රැකියා විරහිත ව්‍යාවසායකයන් වේ.

    සමීක්ෂණයේ දී සුවිශේෂී හඳුනාගැනීම් එළිදැක්විණි. සිය පාරිභෝගිකයන් සමඟ අන්තර් සම්බන්ධතාවය ගොඩනඟා ගැනීම වෙනුවෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් 42%ක් තමන්ගේ සමාජ මාධ්‍ය ජාල භාවිතාව වර්ධනය කරගෙන තිබේ. ඒ අය අතරින් 93%ක් පෙරට වඩා Facebook වැඩියෙන් භාවිතා කළ බවත් 80%ක් WhatsApp භාවිතාව වැඩි කළ බවත් 29%ක් පෙරට වඩා Instagram වෙතට හැරුණු බවත් වාර්තා විය. එසේම අලෙවිකරණ උපාය මාර්ග පවා වෙනස්වීමක් වාර්තා විය. 46%ක් තමන්ගේ භූගෝලීය වෙළඳපොල තුළට ආකර්ෂණය කරගත යුතු අපේක්ෂිත පාරිභෝගිකයන් වෙනුවෙන් මුදල් ගෙවා හෝ මුදල් නොගෙවා සිදුකරන ඔන්ලයින් අලෙවිකරණ උපායමාර්ගික ක්‍රියාවලිය වර්ධනය කරගෙන තිබේ.

    “වසංගතය හේතුවෙන් සංචරණයන් සීමාවූ පසුබිමක පාරිභෝගිකයන් පවතින ව්‍යාපාරවලින් තමන්ට අවශ්‍ය කාර්යයන් ඉටුකර ගැනීම සඳහා ඔන්ලයින් සහ ඩිජිටල් මෙවලම් වැඩි කාලයක් භාවිතා කිරීමට නැඹුරුවී ඇතිබව සමීක්ෂණ වාර්තා මඟින් පෙන්වා දෙනවා. විශාල පරාසයක පැතිරුණු කුඩා ව්‍යාපාරයන්ට තම ව්‍යාපාරයන් ඔන්ලයින් වෙතට පරිවර්තනය කරමින් පවත්වාගෙන යාමට Facebook සතු නිෂ්පාදන සහ විශේෂාංග මනා පිටුවහලක් වී තිබෙන අතර මේ අවිනිශ්චිත කාලවකවානුවේ දී එයට අනුවර්තනය වෙමින් තමන්ගේ ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යාමට අපි ඔවුන්ට දිගින් දිගටම සහයෝගය ලබාදෙනවා. ” යැයි Facebookහි ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රතිපත්ති වැඩසටහන් කළමනාකරු යසස් විසුද්ධි අබේවික්‍රම මහතා පැවසීය.

    මීට අමතරව, අර්බුදයේ සහ එයින් ප්‍රතිසාධනයවීමේ දී ඩිජිටල් මෙවලම් පිළිබඳ පාරිභෝගික වාර්තාව (the Digital Tools in Crisis and Recovery - Consumer report) මඟින් කොවිඩ් සමයේ දී ව්‍යාපාර සමඟ අන්තර් සම්බන්ධතාවය පවත්වා ගැනීමට සහායවීම සඳහා ඩිජිටල් තාක්ෂණයට අනුවර්තනය වූ ආකාරය පිළිබඳව තොරතුරු එළිදැක්වීය. මෙම සමීක්ෂණයේ දී මතු වූ කාරණාවක් වූයේ වසංගත සමය තුළ දී පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් කුඩා ව්‍යාපාර සඳහා සහයවීමට වැඩි කැමැත්තක් දක්වන බවයි.

    නව ව්‍යාපාරවලට මාරුවුණු පාරිභෝගිකයන් අතරින් ආසන්න වශයෙන් 69%ක් කියා සිටියේ ඔවුන් ඒ සඳහා දේශීය කුඩා ව්‍යාපාර තෝරාගත් බවයි. තමන් ව්‍යාපාර සොයා ගැනීමට සමාජ මාධ්‍ය භාවිතා කළ බව ඒ අතරින් 70%ක් පවසා සිටියේය. එසේම 83%ක් ව්‍යාපාර සමඟ සන්නිවේදනය පවත්වාගෙන යාමට සමාජ මාධ්‍ය හෝ ඔන්ලයින් පණිවිඩ භාවිත කරතිබෙන අතර 62%ක් තමන්ට අවශ්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට සමාජ මාධ්‍ය සහ ඔන්ලයින් මාධ්‍ය උපයෝගී කරගෙන තිබේ. එසේම මෙහි සුබවාදී තත්ත්වය වන්නේ 36%ක් තමන් ඉදිරියේ දී ද මෙවැනි කුඩා ව්‍යාපාර සමඟ ගනුදෙනු කිරීමට කැමැත්තක් දක්වා තිබීම වාර්තා වීමයි. මෙම සමීක්ෂණය සමඟින් ගෝලීය භාවිතය පිළිබඳ හුරුව පිළිබිඹුවන අතර සමීක්ෂණය සිදුකළ රටවල් 13නේම තෝරාගත් සියලු පුද්ගලයන් අතරින් 31%ක්ම ප්‍රකාශ කර සිටියේ වසංගතය අවසන් වූ පසුත් තමන් දිගින් දිගටම කුඩා, දේශීය ව්‍යාපාරවලින් සිදුකරන මිලදී ගැනීම් වැඩිකිරීමට සැලසුම් කර ඇති බවයි. ශ්‍රී ලංකාව තුළ දී විවිධ වැඩසටහන් හරහා ඩිජිටල් පරිවර්තන සහ ආර්ථික වර්ධනය ඇතිකරගැනීමට Facebook සහයවෙයි. Facebook ආයතනය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) සමඟ එක්වී Smart Social Circles සහ සුහුරුලිය වැඩසටහන් වලට සහය දක්වමින් Facebook for Business skills සමඟ ව්‍යාවසායකත්ව පුහුණුව සහ ප්‍රජා දිරිගැන්වීම් සිදුකරයි. එසේම Facebook විසින් ICTA හි Go Digital වැඩසටහන හරහා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට සහයෝගය ලබාදෙයි.