කුලියට ඉන්න අයට ස්ථිර නිවාස – ‘කුලී සින්න‘ නිවාස යෝජනා ක්‍රමයක්

    March, 22, 2022

    ඉඩම් හා නිවාස නොමැති වීමෙන් අඩු පහසුකම් සහිතව ජීවත් වන කුලී නිවැසියන්ගේ නිවාස ගැටලුවට පිළියම් ලබා දීමේ අරමුණින් "කුලී සින්න" නමින් නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කර ඇත.

    එකී ව්‍යාපෘතිය යටතේ තට්ටු 04ක් සහිත මහල් නිවාස සංකීර්ණය ඉදි කිරීමටත්, ප්‍රථම අදියර යටතේ පළාත් මට්ටමින් නිවාස 464කින් සමන්විත නිවාස සංකීර්ණ 09ක් ඉදි කිරීමටත් සැලසුම් කර ඇත.

    තෝරා ගනු ලබන ප්‍රතිලාභීන්ට මූලික ගෙවීමක් කිරීමට හැකියාවක් නොමැති බැවින්, මාසිකව රුපියල් 15,000ක කුලී මුදලක් වර්ෂ 31ක් තුළ අය කර ගැනීමටත්, දෙවන හෝ තෙවන පරම්පරාවට නිවසේ අයිතිය පවරා දීමට හැකි වන පරිදි හා කිසිදු හේතුවක් මත නිවස විකිණීමට නොහැකි වන පරිදි ප්‍රතිලාභීන් සමග ගිවිසුමකට එලඹීමටත් හැකි වන පරිදි ව්‍යාපෘතිය සැලැසුම් කරනු ලැබ ඇත.

    ඒ අනුව, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය වශයෙන් අගමැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.