කෘෂිකාර්මික අපනයන ආදායම ඉහළට

    September, 29, 2017

    ප්‍රධාන වශයෙන් තේ අපනයන ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ යෑම හේතුවෙන්, 2017 ජූලි මාසයේ කෘෂිකාර්මික අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 253 ක් දක්වා, සියයට 21.8 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
    තේ අපනයන මිල ගණන් සහ අපනයන පරිමා යන දෙකම ඉහළ යෑම හේතුවෙන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව, තේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 143 ක් දක්වා සියයට 32.7 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත.

    තේ කිලෝග්‍රෑමයක් සඳහා වූ සාමාන්‍ය අපනයන මිල 2016 ජූලි මාසයේ පැවති එක්සත් ජනපද ඩොලර් 4 යි සත 19 සිට 2017 ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් 4 යි සත 86 ක් දක්වා වැඩි වී තිබේ.

    2017 ජූලි මාසයේ දී තේ අපනයන පරිමාව කිලෝග්‍රෑම් මිලියන 26.7 ක් දක්වා සියයට 3.8 කින් වර්ධනය වූ අතර එය මෙම වසර තුළ මෙතෙක් වාර්තා වූ ඉහළම තේ පරිමාව වේ.

    මීට අමතරව, යුරෝපා වෙළෙඳපොළ වෙත අපනයනය කරනු ලැබූ මුහුදු ආහාරවලින් ලත් ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 65.1 ක ඉහළ යෑමක් වාර්තා කරමින් 2017 ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 20 ක් දක්වා සියයට 42.5 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

    මුහුදු ආහාර අපනයනය සැලකිය යුතු ලෙස ඉහළ යෑම කෙරෙහි, යුරෝපා වෙළෙඳපොළ වෙත මුහුදු ආහාර අපනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම සහ ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ස්ථාපිත කිරීම හේතු වී තිබේ.