කෘෂි ප්‍රතිරක්ෂණය සිංගප්පූරුවේ සමාගම් දෙකකට

    December, 26, 2017

    ජාතික රක්ෂණ භාර අරමුදල විසින් අරමුදල් සපයනු ලබන විවිධ කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයන් යටතේ ලබා දෙනු ලබන ප්‍රතිලාභ පසුගිය කාලසීමාව තුළ ඉහළ නංවා තිබීම සහ විවිධ ස්වාභාවික ආපදා හේතුවෙන් සිදු විය හැකි වගා හානි ඉහළ යාම සැලකිල්ලට ගෙන, එම රක්ෂණ යෝජනා ක්‍රම සඳහා ප්‍රතිරක්ෂණ ආවරණයක් ලබාගැනීමට තීරණය කරනු ලැබ තිබේ.

    ඒ සඳහා ආයතනයක් තෝරාගැනීම පිණිස ලංසු කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, 2018 01 01 සිට 2018 12 31 දින දක්වා (එකී දින දෙක ද ඇතුළුව) වන කාලසීමාව වෙනුවෙන් රුපියල් මිලියන 257.8ක මුදලකට එම ප්‍රතිරක්ෂණ පහසුකම ලබාගැනීම සඳහා සිංගප්පූරුවේ Swiss Re Asia PTE Ltd. සහ J.B. Boda & Co(S) PTE Ltd. සමාගම් සමඟ ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.