කෙයාන් අත්හැර ගිය අපේ ගෑස් සම්පත මෙවර කාටද?

    June, 9, 2015

    ඉන්දියානු කෙයාන් සමාගම ශ්‍රී ලංකාවේ ගෑස් ගවේෂණ කටයුතු වලින් පසුගියදා ඉවත් වීමෙන් පසුව මන්නාරම් ද්‍රෝණියේ ගෑස් ගවේෂණ කටයුතු සඳහා ලබන ඔක්තෝම්බර් මාසයේදී තවත් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කියයි.

    කොළඹ පැවති උත්සවයකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ බව සඳහන් කළේය.

    මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඇතැයි ඉන්දියානු කෙයාන් සමාගම (Cairn India) විසින් සොයාගත් ස්වභාවික ගෑස් නිධිවල ගවේෂණ කටයුතු වලින් එම සමාගම පසුගියදා ඉවත් විය.

    ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් පහළ යාම නිසා සමාගමට එල්ලවී තිබෙන පීඩනය හමුවේ මන්නාමරට ඔබ්බෙන් වූ මුහුදේ තිබෙන ස්වභාවික ගෑස් නිධිවල ගවේෂණ කටයුතු ප්‍රමුඛ කටයුත්තක් නොවන බවට ඉන්දියානු කෙයාන් සමාගම තීරණය කරමින් මෙම තීන්දුවට එළඹුණි.

    මන්නාරමට ඔබ්බෙන්වූ මුහ‍ුදේ එක් බිම් කඩක ඛනිජ තෙල් ගවේෂණය සඳහා ලංකාව විසින් ඉන්දීය කෙයාන් සමාගම සමග ගිවිසුමකට එළඹුණේ 2008 වසරේ ජූලි මාසයේදීයි.

    චම්පික රණවක අමාත්‍යවරයා සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ඩීසල් සහ ඒ ආශ්‍රිත ඉන්ධන වලින් ධාවනය වන බලාගාර සියල්ලම ගෑස් සම්පතට පරිවර්තනය කිරීමට තීන්දු කර තිබෙන බවයි.