කොග්ගලට නව කර්මාන්ත ශාලාවක්

    January, 6, 2017

    තරුණ තරුණියන් 7,000 කට රැකියා අවස්ථාවන් ලබා දෙන නව කර්මාන්ත ශාලාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් අද දින ප.ව. 3.30 ට කොග්ගල නිදහස් වෙළඳ කලාපයේදී විවෘත කෙරේ.

    “ඒ ටී ජී හෑන්ඩ් කෙයාර්” පෞද්ගලික සමාගමට අයත් මෙම කර්මාන්ත ශාලාව මගින් අත්වැසුම් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතය. කොග්ගල නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේ අක්කර 12 ක භූමි ප්‍රදේශයක මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබේ. 1994 වසරේ ජුනි 14 වන දින වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකල කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කොග්ගල නිදහස් ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කළ අතර එම කලාපයේ අවසන් ව්‍යාපෘතිය ලෙස මෙම අත්වැසුම් කර්මාන්ත ශාලාව ඉතිහාසයට එක් වෙයි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩැරිස්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ගයන්ත කරුණාතිලක, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ද සහභාගි වීමට නියමිතව ඇත.