කොටස් ආයෝජනවලින් අර්ථසාධක අරමුදලට 2018 දී රු. බිලියන 10.9 ක් අලාභයක්. EPF සාමාජිකයින්ට ලැබෙන පොළිය 9.5%ට බසී

    May, 24, 2019

    වෙළෙඳපොළ මිල අනුව සාධාරණ අගයට ගණනය කරන ලද ලැයිස්තුගත ව්‍යාපාර කොටස් වටිනාකම අනුව, පැවති වෙළෙඳපොළ තත්ත්වය මත රුපියල් බිලියන 10.9 ක අලාභයක් 2018 වසරේ අරමුදලේ ලාභයට ගළපා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවෙහි සඳහන් වේ. මෙම හේතූන් නිසා 2017 වසරට සාපේක්ෂව බෙදාහැරිය හැකි ලාභය රු. බිලියන 10කින් හෙවත් 4.9% කින් අඩු වී ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වන අතර පහත දැක්වෙන්නේ සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන සම්බන්ධයෙන් 2018 මහ බැංකු වාර්ෂික වාර්තාවෙහි වූ සටහනකි.

    සේවක අර්ථසාධක අරමුදලේ සමස්ත ආයෝජන කළඹෙහි වටිනාකම (පොත් අගය) 2017 වසරේ පැවති රු. බිලියන 1,992.4ට සාපේක්ෂව 2018 වසරේ දී රු. බිලියන 2,298.8 ක් දක්වා 15.4%කින් වර්ධනය විය.

    අරමුදලේ ආයෝජන ප්‍රතිපත්තිය එහි සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගනිමින්, සාමාජිකයින්ට දිගුකාලීන ධන මූර්ත ප්‍රතිලාභයක් ලබා දීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර එහිදී ද්‍රවශීල අවශ්‍යතාවයන් වන සාමාජිකයන්ට ප්‍රතිලාභ ගෙවීම් සහ අනෙකුත් මෙහෙයුම් වියදම් සපුරා ගැනීම් යන අවශ්‍යතා ද සලකා බලනු ලැබීය.

    ඒ අනුව 2018 වසර අවසානය වන විට අරමුදලේ සමස්ත ආයෝජනයන්ගෙන් 92.2%ක් රජයේ සුරැකුම්පත් හි ආයෝජනය කර තිබූ අතර, සමාගම් කොටස්වල 3.3% ක්ද, සාංගමික ණය හා භාරකාර සහතිකපත්වල 1.9% ක්ද, ස්ථාවර තැන්පතුවල 1.5% ක්ද, ඉතිරි 1.1% ප්‍රතිවිකුණුම් ගිවිසුම්වල ද ආයෝජනය කර තිබුණි.

    අරමුදලේ සමස්ත ආයෝජන ආදායම 2018 වසරේ දී රුපියල් බිලියන 222.4 ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසර හා සැසඳීමේ දී 0.1%කින් අඩු වීමකි.

    ක්‍රමක්ෂය ලාභ ඇතුළුව පොලී ආදායම, අඛණ්ඩව අරමුදලේ ප්‍රධාන ආදායම් ප්‍රභවය ලෙස පවත්වාගෙන යාමට හැකි වූ අතර එය 2017 වසරේ උපයන ලද රුපියල් බිලියන 219.6ට සාපේක්ෂව 2018 වසරේ දී රු. බිලියන 229.4ක් දක්වා 4.5% කින් වර්ධනය වර්ධනය විය. තවද 2018 වසරේ ලාභාංශ ආදායම ද රු. බිලියන 3.9 ක් දක්වා වර්ධනය වූ අතර, එය 2017 වසරේ දී වාර්තා වූ රු. බිලියන 3ට සාපේක්ෂව 29.9% ක වැඩිවීමකි. ලාභය හෝ අලාභය තුළින් සාධාරණ අගයට ඇති මූල්‍ය වත්කම් මත ශුද්ධ ලාභය 2017 වසරේ දී රුපියල් බිලියන 1.5ක්වූ අතර 2018 වසරේ දී එය රු. බිලියන 10.9 ක අලාභයක් විය.

    2018 වසරේ දී අරමුදලේ සමස්ත දළ ආදායම රු. බිලියන 222.8 ක් ලෙස සටහන් වූ අතර, එය පෙර වසර හා සැසඳීමේ දී 0.2% ක අඩු වීමක් පෙන්නුම් කරන ලදී. ආයෝජනය මත 10.4% ක ප්‍රතිලාභයක් උපයා ගැනීමට සේවක අර්ථසාධක අරමුදලට හැකි වූ අතර අරමුදලේ දළ ආදායමට සාපේක්ෂව මෙහෙයුම් වියදම් අනුපාතය 2018 වසරේ දී 0.7% ක් ලෙස පවත්වා ගෙන යාමට හැකි විය.

    2018 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක 2017 අංක 24 දරන නව දේශීය ආදායම් බදු පනත හඳුන්වා දීමත් සමඟ අරමුදලේ ආදායම් බදු අනුපාතය 10% සිට 14% ක් දක්වා ඉහළ ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස අරමුදලේ ආදායම් බදු වියදම පෙර වසර හා සැසඳීමේ දී රු. බිලියන 12 කින් වැඩි විය.

    මීට අමතරව, පෙර පැවති ආදායම් බදු පනත යටතේ දළ ආදායමක් ලෙස හඳුනාගත් භාණ්ඩාගාර බැඳුම්කර පොලී මත 10% ක් වූ රඳවා ගැනීමේ බදු 2018 අප්‍රේල් 01 දින සිට අහෝසි කර ඇත. තවද, මූල්‍ය උපකරණ වර්ගීකරණය හා මිනුම්කරණය සඳහා අදාළ වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 09ට අනුව අරමුදලේ 2018 වසර අවසාන ගිණුම් පිළියෙල කරන ලදී.

    ඒ අනුව ලැයිස්තුගත ව්‍යාපාර කොටස්, වෙළෙඳපොළ මිල අනුව සාධාරණ අගයට ගණනය කරන ලද අතර පැවති වෙළෙඳපොළ තත්ත්වය අනුව රු. බිලියන 10.9 ක අලාභයක් 2018 වසරේ ලාභයට ගලපන ලදී. මෙම හේතූන් නිසා 2017 වසරට සාපේක්ෂව බෙදාහැරිය හැකි ලාභය රු. බිලියන 10කින් හෙවත් 4.9% කින් අඩු වී ඇත.

    කෙසේ වුවද, ලාභ සමතුලිතතා සංචිතයේ අරමුදල් යම් ප්‍රමාණයක් යොදා ගනිමින්, 2018 වසරේ දී සාමාජික ශේෂයන් මත සියයට 9.5 ක පොළී අනුපාතයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර ඇත.