කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති

    January, 20, 2020

    කඩා වැටී ඇති කොළඹ කොටස් වෙළෙඳපොළ  නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින්  රජය මැදිහත් වන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අද (20) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙදපොල තැරැව්කාර සමාගම් නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කලේය.

    පසුගිය වසර හතර හමාරක කාලය තුළ දී කොළඹ කොටස් වෙළඳපොළ බරපතළ ලෙස කඩා වැටීමට ලක්වී ඇති බැවින් කොටස් තැරැව්කාර සමාගම් විශාල ප‍්‍රමාණයක් වසා දමා ඇති අතර මේ හේතුවෙන් එම සමාගම්වල සේවය කළ විශාල පිරිසකට රැකියා අහිමි වූ බව කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවන්ගේ සංගමය මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

    විවිධ හේතූන් මත ප‍්‍රමාද වන අසාමූහික පනත සම්බන්ධයෙන් මෙහිදී කොටස් වෙළඳපොල තැරැව්කාර සමාගම් නියෝජිතයින් වැඩි අවධානයක් යොමු කළ නමුත් අග‍්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ කිසිදු හේතුවක් මත රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම තම රජයේ ප‍්‍රතිපත්තිය නොවන බවයි.

    කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු සීඝ‍්‍රයෙන් ඉහළ නංවා ගැනීම සඳහාත් විදේශීය ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහාත් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල කොළඹ කොටස් වෙළඳ පොළේ ආයෝජනයන් සඳහා යොමු කළ යුතු බව මෙහිදී කොටස් වෙළඳපොල තැරැව්කාර සමාගම් පෙන්වා දුන්නේය.

    ඒ තුළින්  විදේශීය සමාගම් මෙරට ආයෝජනය කෙරෙහි බරපතළ විශ්වාසයක් ඇති කර ගැනීම කොළඹ කොටස් වෙළෙඳපොල තුල විදේශීය ආයෝජන ඉහල නංවා ගැනීම කෙරෙහි ඉවහල් වනු ඇතැයි තැරැව්කාර සමාගම් පෙන්වා දුන්නේය.

    පසුගිය වසර හතර හමාරක කාලය තුළ වසර පහළොවක පමණ කාලයක් ආපස්සට ගියා සේ මෙරට ආර්ථිකය විනාශ වූ බවත් එය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා වත්මන් රජය කඩිනම් වැඩ පිළිවෙලක් දියත් කරන බවත් ඒ යටතේ කොළඹ කොටස් වෙළදපොල වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ මූලිකත්වය ගන්නා බවත්  අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවේදී  අවධාරණය කලේය.