කොටස් වෙළෙඳපොළට කළු සල්ලි ඇවිත් ද?

    January, 19, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හරහා පසුගිය දින කිහිපය තුළ දී ඉහළ පිරිවැටුමක් වාර්තා වීමත් සමඟම කොටස් වෙළෙඳපොළ වෙත මෙයාකාරයෙන් නව මුදල් ගලා ඒමක් සිදුවූයේ කෙලෙසද යන කාරණය බොහෝ දෙනාගේ සාකච්ඡාවට භාජනය වී තිබේ. මේ අතර ඇතැම් පාර්ශව විසින් මෙහිදී කළු සල්ලි සුදු කිරීමක් හෙවත් මුදල් විශුද්ධීකරණයක් කොටස් වෙළෙඳපොළ හරහා සිදුවන බවට චෝදනා කරමින් සිටී.

    මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරගැනීම සඳහා අද දෙරණ Biz විසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කරන ලදී. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය මෙලෙස කරුණු පැහැදිලි කිරීමක් සිදුකළාය.

    “කොටස් වෙළෙඳපොළට ගලා එන සියලු මුදල් පැමිණෙන්නේ බැංකු පද්ධතිය හරහා. දැනටමත් මූල්‍ය බුද්ධි ඒකකය විසින් මුදල් ගලා ඒම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය හා ඒවා වාර්තා කළ යුතු ආකාරය පිළිබඳව බැංකු වෙත මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. බැංකු විසින් මේ උපදෙස් අනුගමනය කරනු ලබනවා. ඒ වගේම මූල්‍ය බුද්ධි ඒකකය ඔවුන්ගේ සාමාන්‍ය කටයුතු ඒ ආකාරයෙන් පවත්වා ගෙන යනවා.“

    2021 වසරේ ඊයේ (18) දිනය දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ  සිදුව ඇති ගනුදෙනුවල සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 83 ඉක්මවා තිබේ. මෙය 2020 වසරේ සමස්ත පිරිවැටුම මෙන් 21% ක් වන අතර 2019 වසරේ සමස්ත ගනුදෙනු පිරිවැටුම මෙන් 48% ක ප්‍රමාණයකි.