කොටස් වෙළෙඳපොළෙන් අර්ථසාධක අරමුදලට රු. බිලියන 7ක සුපිරි ලාභයක්

    December, 27, 2021

    මෙරට විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හි සිදුකර ඇති ආයෝජනයන් මේ වන විට ඉහළ ලාභදායීත්වයක් වාර්තා කර තිබේ.

    2021 සැප්තැම්බර් 30 කාර්තුව අවසානයේ දී අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජන කළඹ පිළිබඳ සටහනක් මේ වන නිකුත් කර තිබේ. ඊට අනුව සේවක අර්ථසාධක අරමුදල විසින් ලැයිස්තුගත සමාගම් 68 ක රු. බිලියන 84.09 ක් ආයෝජනය කර ඇති අතර 2021 සැප්තැම්බර් 30 දිනට ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 91.92 ක් ලෙසින් සටහන්ව ඇත.

    ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල, කොටස් වෙළෙඳපාළ ආයෝජන හරහා මෙතෙක් ලබා ඇති උපලබ්ධි නොවූ ලාභය රු. බිලියන 7.83 කි.

    එහිදී අර්ථසාධක අරමුදලෙහි කොටස් වෙළෙඳපාළ ආයෝජන කළඹට ලාභදායීත්වයෙන් වැඩිම දායකත්වයක් ලබා ඇත්තේ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී විසිනි. එය රු. බිලියන 7.8 කි. මීට අමතරව රෝයල් සෙරමික්ස් රු. බිලියන 5.39 ක්, වැලිබල් වන් රු. බිලියන 3.9 ක්, ලංකා ටයිල්ස් රු. බිලියන 1.32 ක්, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් රු. බිලියන 1.3 ක්, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි රු. බිලියන 1.17 ක් වශයෙන් රුපියල් බිලියනයක් ඉක්මවා ලාභ උපයා ඇති අර්ථසාධක අරමුදල් ආයෝජන වේ.

    කෙසේ වෙතත් රු. බිලියනය ඉක්මවා උපලබ්ධි නොවූ අලාභ වාර්තා ඇති සමාගම් කොටස් කිහිපයක් ද ඒ අතර වේ. ඒෂියන් හොටේල්ස් (රු. බි. 1.3), බුකිට් ඩාරා (රු. බි. 1.42), කාර්සන් කම්බර්බැච් (රු. බි. 1.01), කළම්බු ඩොක්යාර්ඩ් (රු. බි. 1.94), කොමර්ෂල් බැංකුව (රු. බි. 1.57), DFCC බැංකුව (රු. බි. 1.94), හැටන් නැෂනල් බැංකුව (රු. බි. 1.14) එම ආයෝජනයන් ය.

    මේ අතර 2021 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව තුළ දී අර්ථසාධක අරමුදල විසින් නවලෝක රෝහල් සමාගමේ සහ කෑගල්ල වැවිලි සමාගමේ කර තිබූ ආයෝජනයන් සම්පූර්ණයෙන් විකුණා දමා තිබේ.

    මේ අනුව එදිනට අරමුදල විසින් ආයෝජනය කර තිබෙන මුළු ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 68 ක් වේ.

    සේ.අ.අ. යනු ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය වන අතර, 2020 අවසන්වනවිට එම අරමුදලෙහි වත්කම රුපියල් බිලියන 2,814 කි. සේ.අ.අ. හි පරිපාලන කටයුතු කම්කරු දෙපාර්තමේන්තුව මගින් සිදු වන අතර එහි අරමුදල් කළමණාකාරණය මුදල් මණ්ඩලය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

    කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් හි ආයෝජනය කර ඇති ප්‍රමාණය සමස්ත අරමුදලේ වටිනාකමෙන් 3% ක් පමණ වේ.

    2021 සැප්තැම්බර් 30 දිනට සේවක අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ සමාගම් ආයෝජන කළඹ පිළිබඳ ලැයිස්තුව පහතින් දැක්වේ.