January, 24, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ මෙතෙක් වාර්තා වී ඇති ගනුදෙනු පිරිවැටුම් වටිනාකම් අතුරින් පස්වැනියට විශාලතම දෛනික පිරිවැටුම අද (24) දින වාර්තා විය. එහි වටිනාකම ඒ රු. බිලියන 18.42 කි.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 79.94 (79,949,778) ක ගනුදෙනුවක් මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක විය.
මෙහිදී රු. 161.00 බැගින් කොටසක් ගනුදෙනු වූ අතර රු. බිලියන 12.87ක පිරිවැටුමක් එම ගනුදෙනුව හරහා ජනනය වී තිබුණි.
මෙහි ඇති විශේෂත්වය නම් විදේශ පාර්ශවයන් දෙකක් අතර අදාළ කොටස් හුවමාරුව සිදුව තිබීමයි.
මේ අනුව අද දිනයේ දී රු. බිලියන 18.42 ක් වූ සමස්ත පිරිවැටුමෙන් රු. බිලියන 12.91 ක් විදේශීය මිල දී ගැනීම් සහ රු. බිලියන 12.95 ක් විදේශීය විකිණුම් ලෙසින් වාර්තා වී තිබුණි.
අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,384.11 ක් ලෙසින් සටහන්ය තිබුණු අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 12.50 ක ඉහළ යාමක් වේ.
සියලු කොටස් මිල දර්ශක අගය ගණනය කිරීම සඳහා මෙතෙක් පැවති පූර්ණ වෙළෙඳපොළ ප්‍රාග්ධන පදනම වෙනුවට චලිත වෙළෙඳපොළ ප්‍රාග්ධන (Float Adjusted Market Capitalization) පදනම යොදා ගැනීම අද දින සිට ආරම්භ කෙරුණි.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 22.04 කින් ඉහළ ගොස් ඒකක 4,627.03 ක් ලෙසින් සටහන් විය.

Video Story