කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්. සියලු කොටස් ඒකක 160කින් ඉහළට

    January, 13, 2021

    2021 වසරේ තනි දිනක් තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ් ඉහළම වර්ධනය සනිටුහන් කරමින් අද (13) දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 160.99 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය.  ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,443.23 ක් ලෙසින් වාර්තා වූ අතර පූර්ව දිනයට සාපේක්ෂව එය 2.21% ක ඉහළ යාමක් වේ. සියලු කොටස් මිල දර්ශකයේ අද දින මෙම අගය 2015 අගෝස්තු 21 දිනෙන් පසු වාර්තා වූ ඉහළම අගය ද වේ.

    මේ අතර අද දින S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 39.76 ක් හෙවත් 1.45% ක වර්ධනයක් සටහන් කරමින් ඒකක 2,782.17 ක් ලෙසින් සටහන් විය.

    අද දින දක්නට ලැබුණු සුවිශේෂී කාරණයක් වූයේ LOLC සමූහය ඇතුළු එහි අනුබද්ධිත සමාගම් කිහිපයක කොටස් මිල ගණන් සුවිශේෂී වර්ධනයක් අත්පත් කර ගැනීමයි. මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම වෙනුවෙන් කොමර්ෂල් ලීසිං, LOLC හෝල්ඩිංග්ස් හා LOLC ෆිනෑන්ස්  හා LOLC  ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් වැඩි දායකත්වයක් ලබා දෙන ලදී.

    LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී විසින් සිය  මූල්‍ය සමාගම් වන LOLC Finance PLC, Commercial Leasing and Finance PLC හා LOLC Development Finance PLC වෙත විදෙස් ආයෝජකයින් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් LOLC සිලෝන් හෝල්ඩිංග්ස් නමින් නව සමාගමක් නිර්මාණය කරනු ලබන බව ඊයේ (12) දින නිවේදනය කර සිටියේය.

    දිනය තුළ මිල ඉහළ ගිය සමාගම් අතුරින් කොමර්ෂල් ලීසිං (25%), ලංකා ඇලුමිනියම් (24.84%), LOLC  ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් (23.41%), LOLC ෆිනෑන්ස් (19.30%), කැලණී කේබල්ස් (16.87%) යන සමාගම් කැපී පෙනුණි.

    අද දින රුපියල් බිලියන 9.06 ක පිරිවැටුමක් වාර්තා විය. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. බිලියන 1.44 ක් හා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. බිලියන 1.23 ක් වශයෙන් දෛනික පිරිවැටුමට වැඩි දායකත්වයක් ලබා දෙන ලදී. මීට අමතරව එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් මිලියනයක් රු. 46.00 බැගින් ගිවිසා ගනු ලැබූ (Crossing) ගනුදෙනුවක් ලෙස හුවමාරු විය. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක මිල රු. 47.00 ක් දක්වා රු. 5.70 ක හෙවත් 13.80% ක ඉහළ යාමක් අද දිනය තුළ වාර්තා වූ අතර රු. 48.00 ක් දක්වා වූ ඉහළ මිල මට්ටම්වල දීද එම සමාගමේ කොටස් ගනුදෙනු විය. මේ අතර පසුගිය දින කිහිපය තුළ ආයෝජකයින්ගේ ඉහළ උනන්දුවට පාත්‍ර වූ සමාගම් කොටස වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී කොටසක මිල රු. 7.40 ක් දක්වා 1.33% ක පහළ යාමක් අද දින වාර්තා කරන ලදී.

    සියලු කොටස් මිල දර්ශකයට අනුව 2021 වසරේ මේ දක්වා කාලය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ 9.87% ක වර්ධනයක් වාර්තා වී තිබේ.