කොටස් වෙළෙඳපොළේ විශාල පසුබැස්මක්. සියලු කොටස් ඒකක 100ක් ඉක්මවා පහළට

    March, 6, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (06) මධ්‍යහ්න 12.00 වන විට ඒකක 113 ක පහළ යාමක් වාර්තා කර තිබේ. මෙය පෙර දිනයට සාපේක්ෂව 2% ක කඩා වැටීමකි. එසේම S&P SL20 දර්ශකය ද ඒ වන විට ඒකක 57.83 කින් පහළ ගොස් තිබුණි.

    කොරෝනා වෛරස බලපෑම හමුවේ මේ වන විට ගෝලීය වෙළෙඳපොළ ගණනාවක් දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර එහි බලපෑම ශ්‍රී ලංකාව වැනි කුඩා වෙළෙඳපොළ වෙතට ද එල්ල වීම නොවැළැක්විය හැකි කරුණක් බවට අද වන විට පත්ව ඇත.

    ඊයේ (05) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,484.25 ක් වශයෙන් වාර්තා විය. ඒ අනුව 2020 වසරේ ඊයේ දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී 10.52%කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් ඇත. 2020 වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා ඒකක 6,129.21 ක් ලෙසින් සටහන් ව තිබුණි.

    එමෙන්ම කොටස් වෙළෙඳපොලෙහි, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගයය ද වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී 10.59% කින් පහළ වැටී ඇත. ඊයේ වන විට එම අගය වාර්තා වූයේ රු. බිලියන 2,549.34 ක් වශයෙනි.

    මේ වන විට ගෝලීය කොටස් වෙළෙඳපොළ ගණනාවකම තත්ත්වය ද ශ්‍රී ලංකාවේ තත්ත්වයට සමානව පවතින බව පහත සටහනෙන් දැක්වේ.