March, 10, 2020
අද (10) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 221.24 ක දැවැන්ත කඩා වැටීමක් වාර්තා කළේය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,121.91 ක් වාර්තා වූයේ පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 4.14% ක පහළ යාමක් වාර්තා කරමිනි.
කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත වාර්තා අනුව තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය දෙවැනියාට විශාලතම අගය අද දින වාර්තා වී තිබේ. මීට පෙර 2010 වසරේ ඔක්තෝබර් 12 වන දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 300.59කින් පහළ ගොස් තිබෙන අතර එදිනට පසු අද දින වාර්තා වූ ඒකක 221.24 ක පහළ යාම තනි ගනුදෙනු දිනයක් තුළ ඉතිහාසයේ දෙවැනියාට විශාලතම පහළ යාම ලෙසින් සටහන් වේ.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 117.86 කින් දිනය තුළ පහළ ගිය අතර දිනය අවසානයේ දී එම අගය ඒකක 2,361.75 ක් ලෙසින් වාර්තා විය. මෙය පූර්ව ගනුදෙනු දින හා සැසඳීමේ දී 4.75%ක පහළ යාමක් වේ.
දිනය තුළ මිල දර්ශකවල පහළ යාම සඳහා සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, ජෝන් කීල්ස් හෝල්ඩිංස්ග්, ලංකා දුම්කොළ සමාගම, ඩයලොග් ආසියාටා සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන සමාගම් කොටස්වල මිල පහළ යාම වැඩි වශයෙන් දායක විය.

මේ අතර අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භයත් සමඟ උදෑසන 9.42 ට S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%ක් ඉක්මවූ පහළ යාමක් වාර්තා කිරීමත් සමඟම ස්වයංක්‍රීයවම කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතිය මිනිත්තු 30 ක කාලයක් සඳහා අක්‍රීය විය.
අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 1,346.93 කි. මෙයින් රු. මිලියන 867.09 ක් විදේශීය විකිණුම් ලෙසින් වාර්තා වන අතර රු. මිලියන 581.27 ක් විදේශීය මිල දී ගැනීම් ලෙසින් වාර්තා වේ.
ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මේ වන විට ගෝලීය කොටස් වෙළෙඳපොළ සියල්ලක්ම පාහේ විශාල වශයෙන් පහළ ගොස් ඇත. විශේෂයෙන්ම ආයෝජකයින් සිය ආයෝජන කොටස්, බැඳුම්කර වැනි ආයෝජනවලින් ඉවත් කර, රත්‍රං වැනි ආරක්ෂිත වත්කම්වල ආයෝජනයට යොමු වීම මීට ප්‍රධානතම හේතුව ලෙසින් විශ්ලේෂකයින් පෙන්වා දී ඇත.
වසර ආරම්භයට සාපේක්ෂව මේ දක්වා කාලය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 16.43% කින් මේ වන විට පහළ ගොස් ඇත.
Video Story