කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි. සියලු කොටස් ඒකක 366 කින් පහළට

    November, 19, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය අද (19) දිනයේ දී ඒකක 366.17 කින් පහළ යන ලදී. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 3.32% ක තරම් දැවැන්ත කඩා වැටීමක් වන අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,658.72 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    කෙසේ වෙතත් සියලු කොටස් මිල දර්ශකයේ මෙපමණ විශාල පහළ යාමක් වාර්තා වුවද S&P SL20 දර්ශකයේ ඒකක 38.37 ක් හෙවත් 1.05% ක වර්ධනයක් දක්නට ලැබීම සුවිශේෂී තත්ත්වයකි. S&P SL20 දර්ශකය දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒ අනුව ඒකක 3,691.03 ක් ලෙසින් සටහන් විය.

    රු. බිලියන 9.39 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි.

    සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට, ප්‍රධාන වශයෙන් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සහ LOLC ෆිනෑන්ස් යන සමාගම් දෙකෙහි කොටස් මිල ගණන් සීඝ්‍රයෙන් පහළ යාම හේතු වී ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ පෙන්වා දේ.

    මේ අතර LOLC හෝල්ඩිංග්ස් විසින් අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් සිදුකර තිබුණි. එහි සඳහන් වූයේ කලින් දැක්වූ පරිදි සිය මූල්‍ය සමාගම්වල සුළු කොටස් ප්‍රමාණයන් අත්පත් කර ගැනීමට අනාගත ආයෝජකයින්ට අවස්ථාව සැලසීමේ වේදිකාවක් ලෙස පිහිටුවනු ලැබූ  LOLC සිලෝන් හෝල්ඩිංග්ස් ලිමිටඩ් වෙත LOLC හෝල්ඩින්ග්ස් සතු සිය මූල්‍ය සමාගම්වල කොටස් හිමිකාරීත්වය සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ අනුමැතිය සහිතව  පවරනු ලැබූ බවයි.

    ඒ අනුව LOLC Finance PLC හි 44.79% ක්, Commercial Leasing and Finance PLC හි 98.92% ක් හා LOLC Development Finance PLC හි 55.55% ක කොටස් හිමිකාරීත්වය LOLC සිලෝන් හෝල්ඩිංග්ස් වෙත පවරා තිබේ.