කොටස් වෙළෙඳපොළ ‘පුස්සක්‘ නොවීමට නම්

    November, 5, 2021

    පසුගිය බදාදා (03) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 140.31 කින් ඉහළ යන ලදී. මේ අනුව නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගයට කොටස් වෙළෙඳපොළ පැමිණ ඇත. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය සටහන් වූයේ ඒකක 10,412.02 ක් ලෙසිනි.

    කෙසේ වෙතත් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් ඉහළම ද්‍රවශීලතාවයෙන් යුතු සමාගම් 20 ඇසුරින් සකස් කෙරෙන S&P SL20 දර්ශකය එදින ඒකක 11.96 ක පහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එය ඒකක 3,56.60 ක් ලෙසින් සටහන් විය.

    සියලු කොටස් මිල දර්ශකය ඒකක 140 කින් ඉහළ ගිය ද සමස්තයක් ලෙස ගත් කල එම දිනයේ දී සමාගම් 101 කම කොටස් මිල පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබුණි. එකස්පෝලංකා, LOLC, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වැනි මිල දර්ශක කෙරෙහි ඉහළ සංවේදීතාවයක් දක්වන සමාගම් රැසක් ද ඒ අතර විය.

    මෙලෙස බදාදා දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය මේ සා විශාල ඒකක ප්‍රමාණයකින් ඉහළ ගියේ එක් සමාගමක් නිසා යැයි පැවසුවහොත් එය නිවැරදිය. සියලු කොටස් මිල දර්ශකයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ඉහළ දායකත්වය ලබා දුන් සමාගම් 10 නිරීක්ෂණය කළ විට එය මනාව වැටහෙනු ඇත.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් හි පර්යේෂණ අංශ ප්‍රධානී ඩිමන්ත මැතිව් මහතා කියා සිටියේ අඩු ද්‍රවශීලතාවයක් තිබෙන සමාගම් කොටස්වලින් මිල දර්ශක කෙරෙහි සිදුකරන බලපෑම් හේතුවෙන් සියලු කොටස් මිල දර්ශකය මෙයාකාරයෙන් නිරූපණය වන බවයි.

    “පසුගිය දවස් දෙක තුන බැලුවොත් මේ වගේ තත්ත්වයක් තමයි දකින්න තිබෙන්නේ. කොමර්ෂල් ලීසිං එකෙන් සියලු කොටස් මිල දර්ශකය සම්පූර්ණයෙන් අනෙක් පැත්ත හරවලා වගේ පේනවා. ද්‍රවශීලතායෙන් අඩු සමාගම් කොටස්වල මිල ඉහළ යාම නිසා තමයි මෙහෙම වෙන්නේ. ද්‍රවශීලතාවය අඩුවීම හේතුවෙන් අවම මහජන පංගුව (Minimum Public Holding) පවත්වා ගැනීමට නොහැකි වීම නිසා මේ සමාගම මේ වෙනකොට දෙවන පුවරුව (Second Board) ට මාරු කරලා තියෙන්නේ. මේ දේ හැදුවේ නැත්නම් මේ සමාගමේ ගනුදෙනු අත්හිටුවීමක් පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ සමාගමක් නිසා තමයි සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ද්‍රවශීලතාවය අඩු සමාගම් කොටස්, එමෙන්ම Watch List එකකටත් මාරු කරලා තියෙන මේ වගේ සමාගම්, මිල දර්ශක ගණනය කිරීමේ නොසලකා හැරිය යුතුයි. සියලු කොටස් මිල දර්ශකයට එම සමාගමේ දායකත්වය ඉවත් කළොත් වෙළෙඳපොළේ පහළ යාමක් තමයි දකින්න පුළුවන් වෙන්නේ“, යනුවෙන් ඩිමන්ත මැතිව් මහතා පැවසීය.

    කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ නිකුත් කර ඇති කොටස් ප්‍රමාණය 6,377,711,170 කි. මින් ප්‍රමුඛ කොටස්කරුවන් 20 දෙනා සතුව තිබෙන කොටස් ප්‍රමාණයන් පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

    මෙහි දැක්වෙන ආකාරයට සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 98.21% ක්ම ඇත්තේ සමාගමේ ප්‍රමුඛ කොටස්කරුවන් සිව්දෙනා සතුව ය. එය කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කෙරෙන කොටස් පංගුවට අයත් වන්නේ නැත. එසේම ඉතිරි ප්‍රමුඛ කොටස්කරුවන්ගෙන් සැලකිය යුතු දෙනෙකුගේ ද කොටස් හිමිකාරීත්වයේ අඩුවැඩිවීමක් 2021 ජූනි 30 න් අවසන් කාර්තුව තුළ දී සිදුව නැති බව මූල්‍ය වාර්තා පිරික්සීමේ දී පැහැදිලි වේ. සමාගම පවසන පරිදි සමාගමේ ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් මහජන පංගුව 5.39% කි.

    බදාදා දිනයේ දී කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් හි කොටසක අවසන් ගනුදෙනු මිල සටහන් වූයේ රු. 71.00 ලෙසින් ඒ අනුව සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 452.81 ක් ලෙසින් සටහන් වී එය විශාලතම ලැයිස්තුගත සමාගම බවට මේ වන විට පත්ව ඇත. යම් හෙයකින් අද (05) දිනයේ දී කොමර්ෂල් ලීසිං සමාගමේ කොටසක මිල රු. 78.40 ක් දක්වා ඉහළ ගියහොත් එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 500 ක් හෙවත් රු. ට්‍රිලියන භාගයක් ඉක්මවනු ඇත. එලෙස කොටස් වෙළෙඳපොළේ රු. ට්‍රිලියන භාගයක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන පළමු සමාගම බවට පත්වීමේ පෙරනිමිනි මේ වන විට කොමර්ෂල් ලීසිං පෙන්නුම් කර තිබේ.  නමුත් එය කොතරම් දුරටකට විශ්වසනීය කරුණක් ද යන ගැටළුව පැනනඟිනු ඇත.

    කොමර්ෂල් ලීසිං සමාගමේ කොටස් මිල අසාමාන්‍ය ආකාරයෙන් ඉහළ යාම පිළිබඳව එම සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ඩී.එම්.ඩී.කේ. තිලකරත්න මහතා පවසන්නේ, සමාගම විසින් අනාවරණය නොකරන ලද කිසිදු මිල සංවේදී තොරතුරක් නොමැති බවයි.

    - සංස්කාරක සටහනකි