කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ ගනුදෙනුකරුවන්ට මාස 06 ක් තුළදී රුපියල් මිලියන 1.8 ක් දිනා ගැනීමේ වරම්

    July, 13, 2018

    කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය වඩාත් ප‍්‍රචලිත කිරීමේ අරමුණෙන් පුද්ගලික බැංකුකරණ ගනුදෙනු සඳහා එම පද්ධතිය භාවිතා කරන බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ ගනුදෙනුකරුවන් සඳහා රුපියල් මිලියන 1.8 ක මුදල් ත්‍යාග පිරිනැමීමේ ප‍්‍රවර්ධන වැඩසටහනක් බැංකුව විසින් ආරම්භ කර තිබේ.

    කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය දැනට භාවිතා කරන සහ අන්තර්ජාල බැංකු සේවාව සඳහා අළුතින් ලියාපදිංචි වන නව ගනුදෙනුකරුවන් මෙන්ම දැනට අක‍්‍රිය අන්තර්ජාල බැංකුකරණ ගනුදෙනුකරුවන්ට ප‍්‍රතිලාභ ලබාදීම සඳහා සකස් කර තිබෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ 2018 ජූලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා සෑම මසකම ජයග‍්‍රාහකයින් තිදෙනෙකු බැගින් තෝරා ගන්නා බවත් එම සෑම ජයග‍්‍රාහකයෙකුටම රුපියල් 100,000 ක් බැගින් මුදල් ත්‍යාග හිමිවන බවත් බැංකුව සඳහන් කරයි.

    මෙහිදී, සෑම මසකම පැවැත්වෙන දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට දැනට සිටින අන්තර්ජාල ගනුදෙනුකරුවන් මාසයක් ඇතුළත බිල්පත් ගෙවීම් තුනක් සමගින් අන්තර්ජාල ගනුදෙනු පහක් කළ යුතු අතර අළුතින් ලියාපදිංචි වන ගනුදෙනුකරුවන් මසක් තුළ බිල්පත් ගෙවීම් දෙකක් සමගින් අන්තර්ජාල ගනුදෙනු තුනක් කළ යුතුවේ. මීට අමතරව, දැනට සක‍්‍රීයව අන්තර්ජාල බැංකුකරණ සේවාව භාවිතා නොකරන ගනුදෙනු කරුවන්  එම සේවාව සක‍්‍රීය කරගනිමින් බිල්පත් ගෙවීම් දෙකක් සහිතව මසක් තුළ අන්තර්ජාල ගනුදෙනු තුනක් සිදුකළ විට මෙම දිනුම් ඇදීමට සුදුසුකම් ලබයි.

    බැංකුව සඳහන් කරන්නේ මෙම අංශ තුන යටතේ සෑම මසකම එක් අංශයකින් ජයග‍්‍රාහකයින් එක් අයෙකු බැගින් තෝරාගන්නා බවත් 2018 වසරේදී ජයග‍්‍රාහකයින් 18 දෙනෙකු බිහිකරන බවයි.

    කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පහසුකම තුළින් දුරකතන, විදුලිය, ජල, ණයපත්, රක්ෂණ, පේ ටී.වී, පාසැල් ගාස්තු සහ පොලී වැනි අංශ නමයක් යටතේ ආයතන 68 කට වැඩි ප‍්‍රමාණයක බිල්පත් ගෙවීමේ අවස්ථාව ලබාදී තිබේ. මීට අමතරව, දිනයේ පැය විසිහතර පුරාම ඒ මොහොතේම තමන්ගේ ජංගම, ඉතිරිකිරීමේ, ආයෝජන, ණය සහ ණයපත් ගිණුම්වල ශේෂය පරීක්ෂා කිරීමේ අවස්ථාව සහ තමන්ගේ ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීමේ අවස්ථාව, කොමර්ෂල් බැංකුවේ ගිණුම් තිබෙන තුන්වන පාර්ශවයන් සමඟ මුදල් හුවමාරු කිරීමේ අවස්ථාවද මෙම ගනුදෙනුකරුවන්ට බැංකුව විසින් ලබාදී ඇත.

    මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ ගනුදෙනුකරුවන්ට ඉහළ ආරක්ෂිත බවකින් යුතු මෙම අති නවීන හැසිරවීමට ඉතාමත් පහසු බැංකුකරණ පද්ධතිය භාවිතා කරමින් ස්ථාවර තැන්පතු, පුද්ගලික ණය සහ නිවාස ණය සඳහා අයදුම්කළ හැකි අතරම භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීම සහ කොටස් ගනුදෙනු සඳහා ගෙවීම් කිරීම සිදුකළ හැකිය.

    කොමර්ෂල් බැංකුව විසින් සිය අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය එස්.එම්.එස්. ආරාධනා සහ මතක් කිරීමේ ඇමතුම් තුළින් අඛණ්ඩවම ප‍්‍රවර්ධනය කරන අතර ශාඛා තුළදී බිල් බෝනස් ප‍්‍රවර්ධනයන්, භාවිතා කරන්නන් සක‍්‍රීය කිරීමේ ප‍්‍රවර්ධනයන්, මුහුණට මුහුණ ප‍්‍රශ්න විමසීමේ ප‍්‍රවර්ධනයන් සහ අන්තර්ජාල බැංකුකරණ ත්‍යාග සහ වට්ටම් ලබාදීම තුළින් එම සේවාව භාවිතා කරන්නන්ට ප‍්‍රතිලාභ ලබාදෙයි.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 775 ක් සහ බැංකු ශාඛා 261 ක් පවත්වාගෙන යයි. 2016 වසරේදී සහ 2017 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 30 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මානයට පාත‍්‍රකර තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ පවත්වාගෙන යයි.