March, 30, 2023
කොමර්ෂල් බැංකුව, ලංකාපේ සමග ඒකාබද්ධ වෙමින් ජාත්‍යන්තරව පිළිගැනෙන ජාතික ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පතක් අද දින හඳුන්වා දුන් අතර මෙමගින් ශ‍්‍රී ලංකාවේ ගෙවීම් කාඩ්පත් අංශය දැවැන්ත පියවරක් තබන ලදී.
මෙම ජාතික කාඞ්පත් යෝජනා ක‍්‍රමය ලංකාපේ ආයතනය ජපානය පදනම් කරගත් ජාත්‍යන්තර කාඩ්පත් ක‍්‍රමයක් වන JCB ඉන්ටර්නැෂනල් සමග ඒකාබද්ධ වෙමින් ආරම්භ කළ වැඩසටහනක් වේ. ලෝකය පුරා JCB කාඞ්පත් හිමියන් මිලියන 150 කට වැඩි සංඛ්‍යාවක් සිටී.
ශ‍්‍රී ලංකාව තුළ ලංකාපේ ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන පළමුවැනි අවස්ථාව මෙය වන අතර, ක්‍රෙඩිට් කාඩ්පත් වර්ග තුනක් සහ ඩෙබිට් කාඩ්පත් වර්ග දෙකක් සහිතව ලංකාපේ කාඩ්පත් පහක් නිකුත් කිරීමත් ශ‍්‍රී ලංකාවේ පළමු වතාවට සිදුවිය.
ලංකාපේ කාඩ්පත පිරිවැය සඵලතාවයෙන් යුක්ත නවීන තාක්ෂණයෙන් සහ ඉහළම ආරක්ෂණ ක‍්‍රමවේදයන්ගෙන් සමන්විත වේ. ලංකාපේ කාඩ්පත් වලින් සිදුකරන සියළුම දේශීය ගනුදෙනු දේශීයව අනුමත වන අතර මෙම කාඩ්පත මගින් විදේශීය ගනුදෙනු සිදුකරන විට එය JCB ජාත්‍යන්තර ජාලය මගින් අනුමත වේ. මෙම වැඩසටහනේදී දේශීයව ගනුදෙනු සිදුකරන විට විදේශ විනිමය රටින් පිටතට නොයන නිසා එමගින් විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වනබව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.
ලංකාපේ කාඩ්පත් ශ‍්‍රී ලංකාවේ එළිදැක්වීමේ අවස්ථාව උත්සවාකාරයෙන් කොළඹදී සිදුකළ අතර එම වැඩසටහනට JCB, කොමර්ෂල් බැංකුව සහ ලංකාපේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් සහභාගී විය. මෙහිදී, ඔවුන් අවධාරණය කළේ මෙමගින් කාඩ්පත් හිමියන්ට ඉහළ අගය එකතුකළ සේවාවක් සහ පාරිභෝගික වරණයක් ලබාදෙන බවයි.
කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලංකාපේ කාඩ්පත් ලංකාපේ ගෙවීම් පද්ධතියට සම්බන්ධ කර තිබෙන පොයින්ට්-ඔෆ්-සේල් යන්ත‍්‍ර තුළින් ගනුදෙනු කිරීමේදී ස්පර්ෂ සහ ස්පර්ෂයෙන් තොර (contact සහ contactless) ගනුදෙනු තාක්ෂණය භාවිතා කරනු ලබයි. මීට අමතරව, ලංකාපේ පද්ධතියට සම්බන්ධ කර තිබෙන සියළුම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර සහ දේශීය වෙළඳසැල් 42,000 ක මෙන්ම මිලියන 41 කට අධික JCB ගෝලීය ව්‍යාපාරික ජාලයේ ස්ථාන වලින් මෙම කාඩ්පත් භාවිතා කරමින් ගනුදෙනු සිදුකළ හැකිබව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. කොමර්ෂල් බැංකුව විසින් ලංකාපේ සන්නාමකරණය කළ ක්‍රෙඩිට් කාඩ්පත් ප්ලැටිනම්, ගෝල්ඞ් සහ ක්ලැසික් යන මට්ටම් වලින් නිකුත් කරනු ලබන අතර ඩෙබිට් කාඩ්පත් ප්ලැටිනම් සහ ක්ලැසික් යන මට්ටම් වලින් නිකුත් කරයි. මෙම ඩෙබිට් කාඩ්පත ශ‍්‍රී ලංකාව තුළ නිකුත් කරනු ලබන පළමු ඩුවල් ඉන්ටර්ෆේස් කාඩ්පත වන අතර එමගින් භාවිතා කරන්නාට ඕනෑම පොයින්ට්-ඔෆ්-සේල් යන්ත‍්‍රයක් මගින් කන්ටැක්ට් සහ කන්ටැක්ට්ලස් තාක්ෂණය භාවිතා කරමින් ගනුදෙනු කිරීමට හැකිවේ.
මෙම එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරි සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘පෙර කිසිදා නොවූ තරම් වර්තමානය වනවිට වැදගත්වී තිබෙන ජාතික කාඩ්පත යෝජනා ක‍්‍රමය යටතේ දේශීයව සහ ජාත්‍යන්තරව පිළිගත් පළමු ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත සිය ගනුදෙනුකරුවන්ට හඳුන්වාදුන් පළමු දේශීය බැංකුව කොමර්ෂල් බැංකුව වීම පිළිබඳව අපි අතිශයින් සතුටු වෙනවා. කොමර්ෂල් බැංකුව JCB සමග අවුරුදු ගණනාවක් පුරා කටයුතු කර තිබෙනවා. ලංකාපේ සහ JCB කාඩ්පත ජාතික කාඩ්පත ක‍්‍රමය යටතේ මුලින්ම පිළිගත් බැංකු අතර කොමර්ෂල් බැංකුව සිටියා. අපගේ ස්වංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය මගින් මෙම කාඩ්පත පසුගිය වසර හතරක කාලය පුරා පිළිගනිමින් තිබෙනවා. අපි විශ්වාස කරන්නේ මෙම ඒකාබද්ධතාවය මගින් JCB සමග තිබෙන අපගේ සබඳතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි. එසේම, මේ තුළින් මේ අවස්ථාවේදී ජාතික ආර්ථිකයට සහයෝගය ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා.’
මෙම උත්සව අවස්ථාවේ අදහස් දක්වමින් ලංකාපේ සාමාන්‍යාධිකාරී සහ ප‍්‍රධාන විධායක නිළධාරී, චන්න ද සිල්වා මහතා මෙසේ පැවසීය. ‘ශ‍්‍රී ලංකාව තුළ කොම්බෑන්ක් ලංකාපේ කාඞ්පත් එළිදැක්වීම සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම වේගවත්, පහසු, ආරක්ෂිත සහ දැරිය හැකි ගෙවීමේ විසඳුමක් ලබාදීමේ අපගේ උත්සාහයේ දැවැන්ත පියවරක් ලෙස සඳහන් කළ හැකියි. ලංකාපේ ශ‍්‍රී ලංකාවේ ජාතික ගෙවීම් යටිතල පහසුකම සඳහා හොඳම විසඳුම් ලබාදීම සඳහා කැපවී සිටින අතර ප‍්‍රධාන අංශ වෙත නවෝත්පාදනය සහ පහසුව ගෙන එමින් ශ‍්‍රී ලංකාවේ බැංකුකරණ සහ මූල්‍ය සේවා අංශය විප්ලවීය මාවතකට ගෙන ඒමට කැපවී සිටිනවා. ලංකාපේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් එළිදැක්වීම සඳහා කොමර්ෂල් බැංකුව සම්බන්ධ කරගැනීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ තුළින් ජාතික වැදගත්කමක් ඇති මෙම වැඩසටහනට නිසි ජවයක් ලැබෙනවා.’
මෙම වැඩසටහනේදී JCB සමාගම වෙනුවෙන් අදහස් දක්වමින් සමාගමේ විධායක උප සභාපති, කොයා සකුමා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘JCB ජපානය තුළ වසර 50 ක් පමණ ප‍්‍රමුඛතම ක්‍රෙඩිට් කාඞ්පත් සමාගමක් වගේම ගෝලීය වශයෙන් වසර 30 ක් පමණ ප‍්‍රසිද්ධ ගෙවීමේ සන්නාමයක්. අපි අපේ පාර්ශවකරුන්ට සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට අසමසම අත්දැකීමක් ලබාදෙනවා. අපගේ පාර්ශවකරුවන් සමග අපගේ තිබෙන ඉතාමත් නම්‍යශීලී ප‍්‍රවේශය තුළින් බලාපොරොත්තු වූවාටත් වඩා ප‍්‍රතිඵල ලබාගත හැකියි. ලංකාපේ සමඟ හවුල් වී ජාතික කාඞ්පත් ක‍්‍රමය යටතේ පළමුවන ලංකාපේ ක්‍රෙඩිට් කාඞ්පත කොමර්ෂල් බැංකුව සමඟ නිකුත් කිරීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වනවා.’
ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 270 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 950 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරු සටහන: කොමර්ෂල් බැංකුව, ලංකාපේ - JCB ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හඳුන්වාදීමේ උත්සවයේදී සම්භාවනීය අමුත්තන් (වමේ සිට) JCB ඉන්ටර්නැෂනල් සමාගමේ විධායක උප සභාපති, කොයා සකුමා මහතා, ලංකාපේ සභාපති කෙනත් සිල්වා මහතා, කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා, බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරි සනත් මනතුංග මහතා, ලංකාපේ සාමාන්‍යාධිකාරී සහ ප‍්‍රධාන විධායක නිළධාරී, චන්න ද සිල්වා මහතා.
Video Story