කොමර්ෂල් බැංකුව සිය 250 වන Cash Recycler යන්ත‍්‍රය ස්ථාපිත කරමින් ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 905 ක් සමඟ 2020 අවසන් කරයි

    January, 20, 2021

    ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර සහ Cash Recycler යන්ත‍්‍ර ජාලය මගින් මසකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 62.4 ක මුදල් නිකුත් කරයි

    මෙරට විශාලතම ස්වයංක‍්‍රීය මුදල් නිකුත් කිරීමේ ජාලය හිමි පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් සිය 250 වන Cash Recycler යන්ත‍්‍රය (CRM) බැංකුවේ පෑලියගොඩ ශාඛාවේ 2020 දෙසැම්බර් මාසය අවසානයේදී ස්ථාපිත කිරීමත් සමඟ 2020 වසර අවසන් වනවිට බැංකුවට දිවයින පුරා ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 905 ක ජාලයක් සතුවිය.

    පෑලියගොඩ ශාඛාවේ සවිකළේ 2020 වසරේදී බැංකුව විසින් ස්ථාපිත කළ 50 වන Cash Recycler යන්ත‍්‍රය බව බැංකුව සඳහන් කරයි. කොමර්ෂල් බැංකුව විසින් මේ වනවිට දිවයින පුරා ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 635 ක් සහ මුදල් ආපසු ගැනීමට සහ මුදල් තැන්පත් කිරීමට හැකි Cash Recycler යන්ත‍්‍ර 250 ක් මෙන්ම චෙක්පත් තැන්පත් කළ හැකි ස්වයංක‍්‍රීය චෙක්පත් තැන්පත් යන්ත‍්‍ර (ACDM) 20 ක් ස්ථාපිත කර තිබේ.

    මෙම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර සහ Cash Recycler යන්ත‍්‍ර ජාලය මගින් දිනකට සාමාන්‍යයෙන් රුපියල් බිලියන 02 කට වැඩි මුදල් ප‍්‍රමාණයක් ගනුදෙනුකරුවන් වෙත මුදාහරින අතර පසුගිය වසරේ එක් මාසයක් තුළ සාමාන්‍යයෙන් රුපියල් බිලියන 62.4 කට වැඩි මුදල් ප‍්‍රමාණයක් ගනුදෙනුකරුවන් වෙත මුදාහරින ලදී. මේ අතර, සෑම දිනයකදීම සාමාන්‍යයෙන් යන්ත‍්‍ර ජාලා ක‍්‍රියාවලිය තුළින් මිලියන 150 කට ආසන්න මුදල් ආපසු ගැනීම් සිදුකරන අතර මාසයකදී ආසන්න වශයෙන් මිලියන 4.48 කට ආසන්න මුදල් හර කිරීම් සිදුවන බව බැංකුව සඳහන් කරයි.

    කොමර්ෂල් බැංකුවේ 800 වන ස්වයංක‍්‍රීය යන්ත‍්‍රය ගිරිඋල්ල බැංකු ශාඛාවේ ස්ථාපිත කර තිබෙන අතර 700 වන ස්වයංක‍්‍රීය යන්ත‍්‍රය කිලිනොච්චියේ MAS ඉන්ටිමේට්ස් විද්‍යාල් හි, ස්ථාපිත කර ඇත. මේ අතර, 600 වන ස්වයංක‍්‍රීය යන්ත‍්‍රය, කොළඹ මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයෙහි, 500 වන යන්ත‍්‍රය මරදාන දුම්රිය පොළේ සහ 400 වන යන්ත‍්‍රය බැංකුවේ රුවන්වැල්ල ශාඛාවේ ස්ථාපිත කර තිබේ.

    ස්මාර්ට් කාඞ්පත් ගෙවීම් කිරීමේදී ලොව භාවිතා කරන කීර්තිමත් EMV Chip තාක්ෂණයෙන් සිය සමස්ත ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය (ATM) සවිබල ගැන්වූ මෙරට පළමු බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි. මෙම තාක්ෂණික සවිබල ගැන්වීමත් සමග කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලයේ තිබෙන සුරක්ෂිතභාවය තවදුරටත් වර්ධනය වී තිබෙන අතර මෙම ජාලය මගින් පිළිගන්නා විවිධ කාඞ්පත් සන්නාමයන්ගේ ආරක්ෂිත අවශ්‍යතාවයන් සමග ඒකාබද්ධ වීමටද මේ මගින් කටයුතු කර ඇත. ‘මැග්නටික් ස්ටි‍්‍රප් ඬේටා’ වලට අමතරව බැංකුව සතුව මෙරට තිබෙන ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලයේ  ඕනෑම යන්ත‍්‍රයක් මගින් මේ වනවිට ‘ස්මාර්ට් කාඞ් ඉන්ටගේ‍්‍රටඞ් සර්කිට් (IC) ඬේටා’ පදනම් කරගත් ගනුදෙනු පිළිගනිමින් ඒවා සිදුකරන බව බැංකුව සඳහන් කරයි.

    කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර වලින් පහෙන් එකක් පමණ බැංකු ශාඛා වලින් පිටත කර්මාන්ත කළාප, දුම්රිය ස්ථාන, මධ්‍යම බස් නැවතුම්පොළවල්, නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ සහ විශාල ප‍්‍රමාණයේ කර්මාන්තශාලා යන ස්ථානවල පිහිටුවා තිබෙන අතර එයින් බලාපොරොත්තු වන්නේ ගනුදෙනුරුවන් ඇතුළු සියළුම දෙනාට පහසුවෙන් ප‍්‍රවේශවීම සඳහායි.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම දස වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් ක‍්‍රියාත්මක කරයි. කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ නේ පයිටව් හි ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් සහ මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ද පවත්වාගෙන යයි.