‘කොම්බෑන්ක් ඩිජිටල්’ දැන් Huawei AppGallery වෙතින් ඩවුන්ලෝඩ් කර ගැනීමේ අවස්ථාව

    January, 13, 2022

    සුප‍්‍රසිද්ධ Huawei සන්නාමයෙන් යුතු ජංගම දුරකතන භාවිතා කරන්නන්ට දැන් කොමර්ෂල් බැංකුවේ බහු නාලිකා බැංකුකරණ අයදුම වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ නොමිලේ Huawei AppGallery වෙතින් සෘජුවම ඩවුන්ලෝඞ් කරගත හැකිබව බැංකුව නිවේදනය කර තිබේ.

    2020 වසරේදී කොමර්ෂල් බැංකුව හඳුන්වා දුන් ‘කොම්බෑන්ක් ඩිජිටල්’ iOS සහ Android යන මෙහෙයුම් පද්ධති දෙක සමග සම්පූර්ණයෙන්ම අනුගත වන අතර ඉහළම සුරක්ෂිතතාවයක් ලබාදෙන ජාත්‍යන්තර ප‍්‍රමිතීන් වලින් සහ යහ ක‍්‍රමවේද වලින් සමන්විත වේ. බැංකුවේ ඩිජිටල් පද්ධතිවල ජනප‍්‍රියතාවය ඉහළ යාමත් සමග ඒවා භාවිතා කරන පිරිස ඉතාමත් වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන නිසා බැංකුව විසින් එම පද්ධති අඛණ්ඩවම දියුණු කරමින් සිටී. මේ අනුව, ‘කොම්බෑන්ක් ඩිජිටල්’ ඇප් පහසුකම Huawei AppGallery වෙත ඇතුළත් කර එහි භාවිතය වැඩිකිරීමට බැංකුව කටයුතු කර ඇත.

    Huawei AppGallery වෙතින් ‘කොම්බෑන්ක් ඩිජිටල්’ සෘජුවම ඩවුන්ලෝඞ් කර ගැනීමෙන් පසුව Huawei ජංගම දුරකතන හිමියන්ට ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණය ඉතාමත් පහසුවෙන් සහ ආරක්ෂාකාරීව  ඕනෑම තැනක සිට සිදුකර ගැනීමේ අවස්ථාව හිමිවේ. මෙහිදී, බැංකුවේ නියෝජිතයෙකු නොමැතිව ඩිජිටල් බැංකුකරණ ගනුදෙනුකරුවන්ට තමන්ගේ ඩිජිටල් බැංකුකරණ පහසුකම් තමන්ට අවශ්‍ය ලෙස සකස් කරගැනීමට බැංකුව විසින් අවස්ථාව ලබාදී ඇත.

    මෙම තනි ඩිජිටල් පද්ධතිය මගින් ඩෙස්ක්ටොප් පරිගණක, ටැබ්ලට් පරිගණක සහ ජංගම දුරකතන යන සියළුම උපකරණ මගින් කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට අවස්ථාව ලබාදෙයි. කොමර්ෂල් බැංකුවේ ගිණුමක් තිබෙන  ඕනෑම අයෙකුට මෙම පහසුකම සඳහා අන්තර්ජාලය ඔස්සේ ස්වයංව ලියාපදිංචි විය හැකි අතර බැංකු ශාඛාවක් වෙත නොගොස් මෙම පහසුකම් ලබාගත හැකිබව බැංකුව සඳහන් කරයි. එසේම, ‘කොම්බෑන්ක් ඩිජිටල්’ භාවිතා කරන්නන්ට මෙමගින් නව ගිණුම් විවෘත කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ ණය අයදුම් කිරීමද කළ හැකිවේ.

    ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.