කොරියානු ව්‍යාපෘතියේ ප්‍රථම තැන සබරගමුවට

    July, 25, 2017

    දකුණු කොරියානු රජය මගින් රටවල් දහසයක ක්‍රියාත්මක කළ සෙමාවුල් ව්‍යාපෘතිය අතුරින් සාර්ථකම ව්‍යාපෘතිය බවට සබරගමුව පළාත් ව්‍යාපෘතිය පත්ව ඇත.
    මේ බව හෙලිදරව් වූයේ පසුගියදා සබරගමුව පළාත් සභාවේ පැවති විශේෂ හමුවකදී ය. මෙම හමුව සඳහා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා සහ දකුණු කොරියානු සෙමාවුල් පදනමේ  ප්‍රධානීන් එක්ව සිටියහ.
    පිලිපීනය, ඉන්දුනිසියාව, දකුණු අප්‍රිකානු රටවල්, ඉතියෝපියාව ඇතුළු රටවල් 16ක මෙම සෙමාවුල් ව්‍යාපෘතිය ක්‍රියාත්මකකර ඇත. සෙමාවුල් ව්‍යාපෘතිය දැනට ලංකාවේ ක්‍රියාත්මක වනුයේ සබරගමුව පළාත ආශ්‍රිතව පමණි.
    මේ යටතේ පාරිසරික, යටිතල පහසුකම්, ස්වයංරැකියා, සාම්ප්‍රධායික කර්මාන්ත නගා සිටුවීම, භාෂා පුහුණුව ඇතුළු ක්ෂේත්‍ර රැසක් ක්‍රියාත්මක ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දකුණු කොරියානු සෙමාවුල් පදනම භෞතික හා මානව සම්පත් ප්‍රදානය කරයි.
    දැනට රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ ඇහැලියගොඩ පහලගම, රඹුක්කන, පිටියගම හා හේවාදිවෙල යන ගම්මාන ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. මාර්ග හා පාසල් පද්ධති සංවර්ධනය, බිම්මල්, යකඩ, මැටි ආශ්‍රිත කර්මාන්ත නගා සිටුවීම, කොරියානු භාෂා පුහුණුව ඇතුළු ක්ෂේත්‍ර රැසක ව්‍යාපෘති  සෙමාවුල් පදනම යටතේ සබරගමුව පළාතේ ක්‍රියාත්මකය. ඊට අදාල භෞතික හා මානව සම්පත් කොරියානු රජය මගින් සම්පාදනය කර ඇත. එමෙන්ම මෙම ක්ෂේත්‍රවල නියැලෙන ප්‍රජාව වෙත දකුණු කොරියානු රජයේ පුහුණු පාඨමාලා සඳහා ද අවස්ථා ලබා දී ඇත.
    සබරගමුව පළාතේ ක්‍රියාත්මක සෙමාවුල් ව්‍යාපෘතිවල සාර්ථකත්වය හැදෑරීම සඳහා දකුණු කොරියානු විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු සහ උපාධි අපේක්ෂකයින් 31 දෙනෙකු මෙහි පැමිණ මේ වන විට අධ්‍යයන කටයුතුවල නියැලේ. සෙමාවුල් පදනම යටතේ ක්‍රියාත්මක සබරගමුව පළාතේ ව්‍යාපෘතිවල සාර්ථක භාවය හේතුවෙන් මේ වන විට පළාතේ තවත් ගම්මාන 10 ක් මේ සඳහා තෝරාගෙන ඇත.
    මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රම සම්පාදන) පරාක්‍රම පියසේන, සෙමාවුල් පදනමේ අධ්‍යාපන හා පුහුණු අධ්‍යක්ෂක ජෝයුන්හන් කිං, අධ්‍යක්ෂක වූ හුම් චී, දකුණු කොරියානු කිංජින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් ජිම් ෂිම් සහ කොරියානු ශ්‍රී ලංකා සම්බන්ධීකාරක විරාජ් සම්පත් යන මහත්වරු එක්ව සිටියහ.