කොරෝනා මගින් සිදුවන ආර්ථික බලපෑම බරපතලයි. වහාම සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවන්නැයි කොළඹ වාණිජ මණ්ඩලයෙන් ඉල්ලීමක්

    March, 16, 2020

    දැනට කොරෝනා වෛරසය හේතුවෙන් රටතුල අතිවී ඇති අවදානම් තත්වය සදහා දේශපාලන පක්ෂ භේදයකින් තොරව රටේ සියලු පාර්ශව පෙලගැස්වීම වෙනුවෙන් වහාම සර්වපාක්ෂික නායකයන්ගේ රැස්වීමක් කැඳවන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටී.

    කොළඹ වාණිජ මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතිින් දැක්වේ.

    රටේ ආර්ථිකයත්, සාමන්‍යය ජන ජීවිතයත් දැඩි අවදානම් හා ගැටලු සහගත තත්වයකට මුහුනදී ඇති මේ මොහොතේ සියලු පක්ෂ එක්ව රජයට සහාය දැක්වීම ඉතා වැදගත් බව කොළඹ වාණිජ මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති සාරංග විජයරත්න අවධාරණය කර සිටී.

    මැතිවරණක් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක දේශපාලන පක්ෂ අතර වාද විවාද හා දැඩි තරගයක් ඇතිවීම සාමාන්‍ය තත්වයකි. නමුත් රටක් ලෙස මෙවන් අවස්ථාවකදී එකට එක්වීම කොරෝනා වසන්ගතය මගින් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි හානිය අවමකර ගැනීමට ඉතා වැදගත්වේ.

    කොරෝනා හරහා ශ්‍රි ලංකාවේ ආනයනවලින් 21% ක ප්‍රමණයක් සපයන චීනය සමග ඇති සැපයුම් මාර්ගවලට දැඩි බලපෑම් එල්ලවීම තුලින් ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත කටයුතු අඩාල වීම මෙන්ම එදිනෙදා සාමන්‍යය මහජනතාවට අවශ්‍ය භාණ්ඩ රැසක හිගයක් ඇතිවීමේ අවදානමක් පවතී.

    ශ්‍රී ලංකාවේ අපයනයන ආදායමෙන් 40% කට වැඩි දායකත්වයක් ලබදෙන ඇඟලුම් නිෂ්පාදන කටයුතු අමුද්‍රව්‍ය හිගය හේතුවෙන් විශාල ගැටලුකාරී තත්වයකට මේ වනවිට පත්වී ඇත. එමෙන්ම සංචාරක කර්මාන්තයට සිදුවූ බලපැම හේතුවෙන් ඒ ආශ්‍රිතව සෘජු හා වක්‍ර ලෙස තම ආදායම් මාර්ග සකසාගත් විශාල පිරිසකට බලපෑම් එල්ලවී තිබේ.

    විශේෂයෙන්ම මේ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇත.

    මෙම වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවන බලපෑම් මෙතෙක් ගණනය කර නොමැති අතර එය ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට දැරිය නොහැකි තරම් විශාල වීමේ අවදානමක් පවතී.

    මෙම තත්වය හමුවේ දිනෙන් දින වැඩිවන අවදානම හා ආර්ථික බලපෑම හමුවේ මුලු රටම මේ සදහා පෙලගැස්වීමටටත්, ඒ සදහා ගතයුතු කෙටි හා මධ්‍යකාලීන ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සදහාත් සියලුම දේශපාලන පක්ශ නායකයන් අතර එකගතාවයක් ඇතිකරගැනීමට නායකත්වය ගන්නා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් කොළඹ වාණිජ මණ්ඩලය ඉල්ලා සිටී.