කොවිඩ් පළමු රැල්ලෙන් ශ්‍රී ලංකාවේ සියයට 7කට රැකියා අහිමිවෙලා

    February, 3, 2022

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම සමීක්ෂණ වාර්තාවක් එළිදක්වා තිබේ.

    2020 කොවිඩ් පළමු රැල්ල විසින් මෙරට වැඩ කරන ජනතාවට සිදුකරන ලද බලපෑම එමගින් නිරීක්ෂණය කර ඇත.

    එම වාර්තාවට අනුව වැටුප් ලබන සේවකයින්ගෙන් සියයට 7කට සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ රැකියා අහිමිව ගිය බව කියැවේ.

    මේ අතර කෘෂි අංශයේ ස්වයං රැකියාවන් හි නිරතවන්නන්ගෙන් 64.3% ක් සාමාන්‍ය පරිදි ඔවුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත වුවද 14.6% ක් පවසා ඇත්තේ ඔවුන්ගේ නිෂ්පාදිත සාමාන්‍ය පරිදි අලෙවි කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

    මේ අතර කෘෂි නොවන ස්වයං රැකියාවන් හි නිරතවන්නන්ගෙන් 92.9%ක් ම පවසන්නේ ඔවුන්ගේ ආදායම් මාර්ග පෙර පැවති මට්ටමට වඩා පහළ ගිය බව හෝ සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවයි.

    මෙම සම්පූර්ණ වාර්තාව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසීමෙන් පරිශීලනය කළ හැකිය.

    මෙම වාර්තාව මගින් අනාවරණය කර තිබූ විශේෂ කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

    වැටුප් ලබන සේවක කාණ්ඩය

    • 2020 මාර්තු 20 දිනෙන් පසු 26.5% ක සේවක සංඛ්‍යාවක් සාමාන්‍ය පැය ගණනට වඩා අඩු ප්‍රමාණයක් සේවයට වාර්තා කර ඇත.
    • ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ පළමු රැල්ලට ගොදුරු වූ අවස්ථාවේ දී ලොක්ඩවුන් කාලසීමාව තුළ සමස්ත වැටුප් ලබන සේවක සංඛ්‍යාවෙන් 45% ක් වැටුප් සහිතව සේවයට වාර්තා නොකරන ලදී.
    • සමස්ත වැටුප් ලබන සේවකයින්ගෙන් 7% ක් සේවයෙන් සම්පූර්ණයෙන්ම සේවයෙන් ඉවත්වීම/ රැකියා අහිමිවීම සිදුව ඇත.
    • සියයට 12කට ඔවුන්ගේ රැකියා වැටුප් රහිතව තාවකාලිකව නවත්වා ඇත.
    • සියයට 60 ක ප්‍රමාණයකට ඔවුන් සාමාන්‍යයෙන් ලැබූ වැටුපට වඩා අඩුවෙන් වැටුප් ලැබීමට හෝ වැටුප් නොලැබීමට සිදුව ඇත.

    කෘෂිකර්මාන්ත අංශයේ ස්වයං රැකියාවන් හි නිරතවන්නන්

    • කොවිඩ් පළමු රැල්ල සමයේ කෘෂිකර්මාන්ත අංශයේ ස්වයං රැකියාවන් හි නිරතවන්නන්ගෙන් 64.3% ක් ඔවුන්ගේ කෘෂි ආර්ථික කටයුතුවල සාමාන්‍ය පරිදි නිරත වී ඇත.
    • 12.7% ක් විසින් ඔවුන් කළ වගා, සත්ත්ව පාලන, ධීවර ක්‍රියාකාරකම් නවත්වා හෝ ප්‍රමාද කර ඇත.
    • 14.6% ක් ඔවුන්ගේ නිෂ්පාදිත සාමාන්‍ය පරිදි අලෙවි කර ගැනීමට නොහැකි වූ බව සඳහන් කරයි.
    • 67.3% ක් පවසන්නේ ඔවුන්ගේ සාමාන්‍ය කෘෂි නිෂ්පාදිතය පෙර පැවති සාමාන්‍ය මට්ටමට හෝ ඊට වඩා වැඩි වී ඇති බවයි.

    කෘෂි නොවන ස්වයං රැකියාවන් හි නිරතවන්නන්

    • 2020 මාර්තු 20 දිනෙන් පසු කොවිඩ් පළමු රැල්ල පැවති කාලපරිච්ඡේදය තුළ දී  කෘෂි නොවන ස්වයං රැකියාවන් හි නිරත වූ අයගෙන් 59.2 කට ඔවුන්ගේ කෘෂි නොවන ආර්ථික කටයුතු නවතා දැමීමට සිදුව තිබේ.
    • 14% ක් ඔවුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් නවත්වා ඇත.
    • 92.9%ක් ම පවසන්නේ ඔවුන්ගේ ආදායම් මාර්ග පෙර පැවති මට්ටමට වඩා පහළ ගිය බව හෝ සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවයි.