කොවිඩ්-19 අර්බුදයට ඉක්මන් ප‍්‍රතිචාර දක්වමින් කොමර්ෂල් බැංකුව ණය පොලී අනුපාත අඩු කරයි

    May, 26, 2020

    සියලූ අංශවල ණය, ලීසිං පහසුකම්, උකස් සහ බැංකු අයිරා පහසුකම්වල පොලී අනුපාත පහළට

    පුද්ගලික සහ ආයතනික ණය ගැණුම්කරුවන්ගේ පවතින අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් සහ ශ‍්‍රී ලංකාව තුළ පොලී අනුපාත පහළ යෑමේ ප‍්‍රවණතාවය අනුව යමින් කොමර්ෂල් බැංකුව ණයවල පොලී අනුපාතයන් පුළුල් වශයෙන් අඩුකිරීමට පියවර ගෙන තිබේ.

    මේ අනුව, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් අලූතෙන් ලබාදෙන සියලූම ණය මෙන්ම උකස්, ලීසිං පහසුකම් සහ බැංකු අයිරාවන් සඳහා මෙම අඩු පොලී අනුපාතයන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ලබාදෙන බව බැංකුව සඳහන් කර ඇත.

    මෙම පොලී අනුපාත අඩුකිරීම මගින් කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ව්‍යාපාර වසා දැමීම නිසා ආදායම් අහිමිවී යාමෙන් අපහසුතාවයට පත්වූ බැංකුවේ ගනුදෙනුකරුවන්ට සහයෝගය ලබාදීමට ඉලක්ක කර තිබේ.

    ‘මෙම වසංගතයේ අනිටු විපාකයන්ට සියලූ දෙනාම මුහුණ දුන්නා. මේ නිසා, සියලූම ගනුදෙනුකරුවන් වගේම සියලූම ව්‍යාපාරික අංශ යම් සහනයක් ඉල්ලා සිටිනවා.’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘මෙම වසංගතය නිසා බැංකු අංශයත් පීඩාවට පත්වුණා. නමුත්, මේ අවස්ථාවේ ගනුදෙනුකරුවන් සහ ජාතික ආර්ථිකය මුහුණ දී සිටින පීඩාව සමනය කිරීම සඳහා කළ හැකි උපරිම දේ කිරීමට අපි ඉදිරිපත් වෙනවා. මේ අභියෝගාත්මක අවස්ථාවේ ගනුදෙනුකරුවන්ගේ පීඩාවන් සමනය කරමින් ව්‍යාපාර නගා සිටුවීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට බැංකුව ගත් ක‍්‍රියාමාර්ග වලින් එකක් ලෙස පමණක් පොලී අනුපාත අඩුකිරීම පෙන්වා දිය හැකියි.’

    මේ අනුව, බැංකුව සඳහන් කරන්නේ මෙම පොලී අනුපාත අඩුකිරීම යටතේ කෘෂි ව්‍යාපාර ණය සඳහා පොලී අනුපාත 2% කින් අඩුකර ඇති බවත් මේ අනුව, අවුරුදු පහේ කෘෂි ව්‍යාපාර ණයවල පොලී අනුපාතය 12% ක් දක්වාත් අවුරුදු හතේ කෘෂි ව්‍යාපාර ණයවල පොලී අනුපාතය 13% ක් දක්වා අඩුවන බවයි. මේ අතර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා ලබාදෙන ‘දිරිබල’ ණය පොලී අනුපාතයද බැංකුව විසින් 2% කින් අඩුකර ඇත. මේ අනුව, මෙම ණය අවුරුදු පහකට ලබාදීමේදී පොලී අනුපාතය 11.5% ක් දක්වා අඩුකර ඇති අතර ණය අවුරුදු හතකට ලබාගැනීමේදී පොලී අනුපාතය 12.5% ක් දක්වා අඩුකර තිබේ.

    එසේම, අවුරුදු දහයේ නිවාස ණය පොලී අනුපාතයද බැංකුව විසින් 1.5% කින් අඩුකර ඇති අතර අවුරුදු දහයට වැඩි නිවාස ණය සඳහා පොලී අනුපාතය 1% කින් අඩුකර ඇත. මේ අනුව, මෙම නිවාස ණයවල පොලී අනුපාතය පිළිවෙලින් වසරකට 11% ක් සහ 12% ක් දක්වා අඩුවන බව බැංකුව සඳහන් කරයි.

    මේ අතර, කොමර්ෂල් බැංකුව සඳහන් කර තිබෙන්නේ ලීසිං පහසුකම්, ව්‍යාපාරික ණය සහ පුද්ගලික ණයවල පොලී අනුපාත පිළිවෙලින් 1.5% කින්, .5% කින් සහ .5% කින් අඩුකර තිබෙන බවයි.

    එසේම, මෙම පොලී අනුපාත අඩුකිරීම යටතේ බැංකු අයිරාවල පොලී අනුපාතයද 2% කින් වසරක පොලී අනුපාතය 12% වන ලෙස අඩුකර තිබෙන අතර අනිකුත් ස්ථාවර ණයවල පොලී අනුපාතය 1.5% කින් 11% ක් දක්වා අඩුකර තිබේ.

    බැංකුව විසින් ලබාදී තිබෙන හරිත ණය සහ පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභව ඇති කිරීම සඳහා ලබාදී තිබෙන ලීසිං පහසුකම් මෙන්ම අනිකුත් පරිසර හිතකාමී ව්‍යාපෘති සඳහා ලබාදී තිබෙන ණයවල පොලී අනුපාතයද 1.5% කින් අඩුකරන බව බැංකුව නිවේදනය කර ඇත.

    මේ අතර, උකස් පොලී අනුපාතය වසරකට 11% ක් දක්වා අඩුකිරීමට බැංකුව විසින් කටයුතු කර තිබෙන අතර ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දක්වා තිබෙන 12% ක වාර්ෂික පොලී අනුපාතයටත් වඩා මෙය අඩු මට්ටමක තිබීම කැපී පෙනේ.

    මීට අමතරව, කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වී සිටින ගනුදෙනුකරුවන්ට සහන සැලසීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සම්පාදනය කළ පැකේජයට අනුව කොමර්ෂල් බැංකුව විසින් මේ වසරේ අපේ‍්‍රල් මාසයේදී අක‍්‍රීය තත්ත්වයේ ණය තිබූ තම ගනුදෙනුකරුවන්ට සහන මාලාවක් ලබාදෙන ලදී. එසේම, බැංකුව විසින් සිය ක්‍රෙඩිට් කාඞ්පත් ගනුදෙනුකරුවන්ට සහන කිහිපයක්ම ලබාදුන් අතර මේ අතරට ගෙවීමට තිබෙන මුදල සඳහා විශේෂ ගෙවීමේ සැලසුමක් ප‍්‍රකාශයට පත්කිරීමද ඇතුළත් වේ. මේ අතර, ස්වයං රැකියා කරන්නන් සහ ව්‍යාපාර සඳහා 4% පොලී අනුපාතයකට ණය ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී තිබෙන විශේෂ කාර්ය ප‍්‍රාග්ධන ණය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් අයදුම්පත් භාර ගැනීමද මේ වනවිටත් ආරම්භ කර ඇත.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම නව වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.