කොවිඩ්-19 පාලනයට පිටරටින් ඩොලර් ලැබුණේ මෙහෙමයි

    July, 2, 2020

    කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට අදාළව ගත යුතු මූලික පියවරයන් සඳහා රටවල් කිහිපයක් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් ශ්‍රී ලංකා රජයට ණය, ප්‍රදාන සහ ද්‍රව්‍යමය ආධාර වශයෙන් 2020 ජුනි මස 12 දින දක්වා කාලය තුළ ලබා දී තිබූ දායකත්වයන් පිළිබඳ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

    ඒ අනුව, ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකා COVID-19 හදිසි අවස්ථා ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 128.6ක් සහ සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 45ක් ලබා දීමට එකඟතාව පළ කර ඇත.

    COVID-19 හදිසි අවස්ථා ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එකඟ වී ඇති මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 57.5ක් සහ සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය යටතේ එකඟ වූ මුළු මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 45ක මුදල මේ වන විට මෙරටට ලැබී ඇති බව අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු විය.

    ඊට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 75ක් පමණ වටිනා ප්‍රදානයන් සහ ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 8ක් පමණ වටිනා ද්‍රව්‍යමය ආධාර උක්ත දිනය දක්වා ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇති බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.