May, 6, 2026
Zee Media සහ WION ජාත්‍යන්තර මාධ්‍ය ජාලය (ඉන්දියානු) විසින් සංවිධානය කරන ලද ගෝලීය නවෝත්පාදන සහ නායකත්ව සමුළුව පසුගිය සතියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවැත්විණි, එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ දේශපාලන, ව්‍යාපාරික සහ අධ්‍යාපන යන විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් රැසක් සහභාගී විය. සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ ලෙස විවිධ ක්ෂේත්‍රයන් අතරින් නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය සුවිශේෂී ලෙස ජාත්‍යන්තරයට රැගෙන ගිය ප්‍රවීණයන් අගය කිරීම අරමුණු කරගත් අතර එහිදී දෙරට අතර දේශසීමා සහයෝගීතාවයේ වැදගත්කම ශක්තිමත් කිරීම පිළිබඳ පුළුල් කතිකාවතකට යොමුවීම සිදුවිය.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසොෆ් මහතා, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා, Zee Media හි ප්‍රධාන විධායක නිලධාරී සුධීර් චෞද්‍රි මහතා සහ තවත් සම්භාවනීය අමුත්තන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් සහභාගී වූහ.
" The Island Where India Feels at Home "යන තේමාව යටතේ සමුළුව අමතමින් මහාචාර්ය රුවන් රණසිංහ මහතා, ඉන්දියානු සංචාරක වෙළඳපොළේ ප්‍රයෝජනයට නොගත් විභවයන් පිළිබඳව විවෘතව අදහස් දැක්වීය. 2025 වසරේදී ඉන්දියානුවන් මිලියන 32.7ක් විදේශ ගතවී ඇති අතර, ඉන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 531,000ක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය. සාපේක්ෂව මෙම අගය වඩා වැඩි මට්ටමකට ගෙනයාමේ හැකියාව පවතින බවත් එළැඹෙන වසර කිහිපයේදී අප රජයේ අවධානය මේ සඳහා යොමුවනන බවත් පැවසූ ඔහු,ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම මෙහිදී ස්වභාවික වාසියක් වන බවද සඳහන් කළේය. වසර පුරා ස්ථාවරත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසාරභාවය උදෙසා ඉන්දියානු සංචාරකයින් ප්‍රධාන සාධකයක් වන බව ඔහු අවධාරණය කළේය.
ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීම පිළිබඳ සිය දැක්ම ඉදිරිපත් කරමින් මහාචාර්ය රණසිංහ මහතා කියා සිටියේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව ගෝලීය දකුණේ (Global South) අනාගතය සහ වර්ධනය මෙහෙයවන ඒකාබද්ධ ආර්ථික කලාපයක් ලෙස නැගී සිටිය හැකි බවයි. ඉදිරි වසරවලදී කෘෂිකර්මාන්තය, සමුද්‍රීය කර්මාන්ත සහ නිර්මාණාත්මක ක්ෂේත්‍රය (Creative Sector) ඉහළ වර්ධන විභවයක් සහිත අංශ ලෙස ඔහු හඳුනා ගත්තේය. ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංචාරක ආකර්ෂණය පිළිබඳව පැහැදිලි කරමින් ඔහු පැවසුවේ, වෙනත් රටවල මෙන් නොව ශ්‍රී ලංකාවේදී උරුමය, සොබාදහම, සුවතාවය සහ වික්‍රමාන්විත අත්දැකීම් යන සියල්ල එකම චාරිකාවකදී ලබාගත හැකි බවයි. එසේම, ශ්‍රී ලාංකිකයින් වැඩිපුරම විදේශ ගතවන ගමනාන්තය ඉන්දියාව (විශේෂයෙන් බෞද්ධ වන්දනා චාරිකා සඳහා) බවත්, එය දෙරට අතර පවතින ගැඹුරු සංස්කෘතික සබඳතාවය විදහා දක්වන බවත් ඔහු පැවසීය.
ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ සිදුවන ශීඝ්‍ර වෙනස්කම් පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය රණසිංහ මහතා සඳහන් කළේ, “ගෝලීය සංචාරක රටාවන් විකාශනය වෙමින් පවතින අතර, කෘතිම බුද්ධිය (AI) මෙම වෙනස්වන ප්‍රවණතාවලට සහ පාරිභෝගික රුචිකත්වයන්ට අනුව හැඩගැසෙමින් පවතින බවත්, කෙටි කාලීන සංචාර වෙනුවට දිගු කාලීන නවාතැන් සඳහා යොමුවන Digital Nomads සංචාරකයින් මාස කිහිපයක් මෙහි ගත කිරීමට තෝරා ගැනීම අප දකිනවා,” යනුවෙනි. තායිලන්තය සහ බාලි වැනි ස්ථාපිත ගමනාන්තයන් සමඟ පවතින තරඟකාරිත්වය හඳුනා ගනිමින්ම, ශ්‍රී ලංකාවේ සංචාරක අනාගතය පිළිබඳව ඔහු විශ්වාසය පළ කළේය.
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ද මෙයට සමාන අදහස් දක්වමින් සමීප කලාපීය ඒකාබද්ධතාවයක වැදගත්කම අවධාරණය කළේය. ඉදිරි වසරවලදී වර්ධනයට හේතු විය හැකි ප්‍රධාන අංශ ලෙස කෘෂිකර්මාන්තය, සමුද්‍රීය සහ නිර්මාණාත්මක කර්මාන්ත ඔහු ඉස්මතු කළ අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව “එක් ආර්ථික කලාපයක්” ලෙස ක්‍රියා කිරීමෙන් ගෝලීය දකුණේ අනාගතය ශක්තිමත් කළ හැකි බවත් ඔහු පැවසීය.
කොළඹදී පැවැත්වුණු මෙම සමුළුව ඉන්දියානු ව්‍යවසායකයින් ඇගයීමට ලක් කළා පමණක් නොව, කලාපීය සහයෝගීතාවය, නවෝත්පාදනය සහ නායකත්වය සඳහා වන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ භූමිකාව තහවුරු කිරීමටද සමත් විය. මෙම අවස්ථාව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට සහ සමාජ සංවර්ධනය කරා ඉදිරියට යාමට තැබූ වැදගත් පියවරක් ලෙස සනිටුහන් වේ.






Video Story