කොළඹ කොටස් අදත් නිසලයි

    February, 8, 2016

    යළිත් වරක් මන්දගාමී වාතාවරණයක් පෙන්නුම් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද දිනයේ දී ඒකක 2.98 කින් පහළ ගියේය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,401.66 ක් ලෙසින් සටහන්ව තිබිණි.

    කෙසේ වෙතත් S&P SL20 දර්ශකය දිනය අවසානයේ දී ධනාත්මකව නිරෑපණය කෙරුණු අතර පූර්ව දිනයට සාපේක්ෂව ඒකක 8.35 ක වර්ධනයන් සනිටුහන් කරමින් එය ඒකක 3,347.32 ක් වශයෙන් වාර්තා විය. මේ සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, ලංකා ඔරික්ස් ලීසිං සහ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම් කොටස් විසින් විශාල දායකත්වයක් ලබා දී තිබිණි.

    දිනය තුළ වාර්තා වූ පිරිවැටුම රුපියල් මිලියන 389 කි. මෙයින් දේශීය මිල දී ගැනීම් රු. මිලියන 191.5 ක් ලෙසත් දේශීය විකුණුම් රු. මිලියන 173.19 ක් ලෙසත් දැක්වුණු අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 197.9 ක් හා විදේශීය විකුණුම් රු. මිලියන 216 ක් ලෙසින් වාර්තා විය.

    අද දින වාර්තා වූ එකම ගිවිසා ගත් ගනුදෙනුව ලෙසින් සම්පත් බැංකුවේ කොටස් 308,400 ක් රු. 240.00 බැගින් ගනුදෙනු වීම දක්නට ලැබුණි. රුපියල් මිලියන 74 ක පිරිවැටුමක් එමගින් වාර්තා විය.

    දිනය තුළ සාමන්‍ය වෙළෙඳ ගනුදෙනුවල දී වැඩිම පිරිවැටුමක් වාර්තා වූයේ හේමාස් හෝල්ඩිංග්ස් වෙතිනි. එය රු. මිලියන 133.6 කි. මීට අමතරව ස්විස්ටෙක් සිලෝන් කොටස් ගනුදෙනු හරහා රු. මිලියන 23.86 ක පිරිවැටුමක් වාර්තා වී තිබිණි.

    මේ අතර හිල්ටන්, සිංහපුත්‍ර ෆිනෑනස්, සී ටී ලෑන්ඩ්, ඩිස්ටිලරීස්, සී අයි සී හෝල්ඩිංග්ස් හා ඇක්සෙස් ඉංජිනියරින්ග් සමාගම් විසින් 2015 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව සඳහා මූල්‍ය වාර්තා අද දිනයේ දී නිකුත් කර තිබුණි.