කොළඹ කොටස් එකතැන. චිලව් ෆිනෑනස් 34% කින් ඉහළට

    February, 5, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 1.84 ක සුළු ඉහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,404.64 ක් ලෙසින් වාර්තා විය. මෙය 0.03% ක වැඩිවීමකි. S&P SL20 දර්ශකය දිනය අවසානයේ දී ඒකක 3,338.97 ක් ලෙසින් දැක්වුණු අතර එය පෙර දිනයට වඩා ඒකක 2.93 ක ඉහළ යාමකි.

    දිනය තුළ වාර්තා වූ පිරිවැටුම රුපියල් මිලියන 308 කි. මෙහි ඇති විශේෂත්වය නම් දිනය තුළ එකදු ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් (Crossing) හෝ වාර්තා නොවීමයි. දෛනික පිරිවැටුම සඳහා ඉහළ දායකත්වයක් ලබාදුන් සමාගම් අතර සම්පත් බැංකුව - රු. මිලියන 54.9, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් - රු. මිලියන 37.67, ස්විස්ටෙක් සිලෝන් - රු. මිලියන 24.2, හැටන් නැෂනල් බැංකුව - රු. මිලියන 23.47 ක් හා ත්‍රී ඒකර් ෆාම්ස් රු. මිලියන 16.85 ක් ලෙසින් කැපී පෙනුණි. අනෙක් එකදු සමාගමකට හෝ රුපියල් මිලයන 10 කට වඩා පිරිවැටුමක් වාර්තා කිරීමට අද දිනයේ දී අවස්ථාව ලැබී තිබුණේ නැත.

    දෛනික පිරිවැටුමෙන් රුපියල් මිලියන 258.35 ක් දේශීය ගැනුම් ලෙසත්, මිලියන 197.78 ක් දේශීය විකිණුම් ලෙසත් වාර්තා වේ. මෙහිදී විදේශීය ගැනුම් රුපියල් මිලියන 49.57 ක් හා විදේශීය විකුණුම් මිලියන 110,14 ක් වශයෙන් වාර්තා වී තිබිණි.

    මේ අතර අද දින ගනුදෙනු අවසානයේ දී දක්නට ලැබුණු කැපී පෙනෙන සිදුවීම නම් චිලව් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිල 34.62% කින් ඉහළ ගොස් තිබීමයි. පෙර දිනයේ දී රු. 18.20 ක් ලෙසින් සටහන් වූ චිලව් ෆිනෑන්ස් කොටසක මිල අද දිනය අවසානයේ දී රු. 24.50 දක්වා රු. 6.30 කින් ඉහළගොස් තිබුණි. එසේම දිනය තුළ දී චිලව් ෆිනෑන්ස් කොටසක් ගනුදෙනු වූ උපරිම මිල රු. 26.00 කි. දිනය තුළ චිලව් ෆිනෑන්ස් කොටස් 111,769 ක් ගනුදෙනු වී තිබුණු අතර එයින් ජනණය වී තිබුණු පිරිවැටුම රුපියල් මිලියන 2.64 කි.

    කෙසේ වෙතත් අද දිනයේ දී ඇල්පිටිය වැවිලි සමාගමේ කොටස් මිල රුපියල් 22.00 සිට රු. 19.50 දක්වා 11.36% කින් පහළ වැටී තිබේ. පෙර දින ඉහළම වර්ධනයක් වාර්තා කළ සමාගම් කොටස මෙය වූ අතර එදින ඇල්පිටිය වැවිලි සමාගමේ කොටස් මිලෙහි 22.91% ක වර්ධනයක් සිදුවිය.

    අද දින සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම කොටසකට රුපියල් 7.00 බැගින් වන පරිදි සිය දෙවන අතුරු ලාභාංශයක් නිවේදනය කර ඇත. එහෙත් දිනය තුළ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් කොටස් ගනුදෙනු වාර්තා වී තිබුණේ නැත.

    අද (05) දින වන විට වසරේ මේ දක්වා කාලය පුරාවට සියලු කොටස් මිල දර්ශකයට අනුව සමස්ත කොටස් වෙළෙඳපොළ 7.11% කින් පහළ ගොස් තිබේ.