කොළඹ කොටස් තවත් පහළට

    February, 14, 2016

    ආයෝජන මාර්ගයක් ලෙසින් කොටස් වෙළෙඳපොළ පිළිබඳ තිබෙන උනන්දුව තවදුරටත් ආයෝජකයින්ගෙන් ගිලිහී යන ස්වභාවයක් පසුගිය සතියේ ගනුදෙනු පිළිබඳ විමසිලිමත් වීමේ දී දැකිය හැකිවිය. පසුගිය පෙබරවාරි 11 වැනි සිකුරාදා වන විට අඛණ්ඩව 5 වැනි දිනයටත් කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය වාර්තා වූයේ පහළ වැටෙන අයුරකිනි. පසුගිය සතිය තුළ දී පමණක් 1.9% කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබිණි. ඒ වන විට එහි අගය ඒකක 6,283 ක් වශයෙනි.

    මේ වන විට වසරේ මුල් සති 6 තුළ දී පමණක් 8.87% කින් කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ.

    මේ අතර පසුගිය සතිය තුළ දී වාර්තා වූ සමස්ත ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 1.7 ක් පමණක් විය. මෙයින් දේශීය මිල දී ගැනීම් යම්තම් රුපියල් බිලියනය ඉක්මවා තිබූ අතර විදේශීය මිල දී ගැනීම් වාර්තා වූයේ රුපියල් මිලියන 702 ක් වශයෙනි.

    සමස්තයක් ලෙස සැලකීමේ දී ගෙවී ගිය සතියේ දින 5 පුරාවටම රුපියල් මිලියන 350 ක හෝ දෛනික සාමාන්‍ය පිරිවැටුමක් වාර්තා වී නොමැති බව මෙහිදී නිරීක්ෂණය කළ හැකිවේ. එය වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සාමාන්‍ය දෛනික පිරිවැටුම වන රුපියල් මිලියන 742 හා සැසඳීමේ දී ඉන් අඩකටත් අඩු අගයයකි. මේ අතර පසුගිය බදාදා (10) ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම වාර්තා වූයේ රුපියල් මිලියන 182.4 ක් ලෙසිනි. මෙය 2014 මාර්තු මාසයේන පසු වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම ලෙසින් වාර්තා වේ.

    ගෝලීය වශයෙන් ඇති වී තිබෙන ආර්ථික තත්ත්වයන් හි අහිතකර බලපෑම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත බලපෑමක් එල්ල නොකරන්නේ යැයි සිතීම මේ වන විට බැහැර කළ යුතු කාරණාවකි. විශේෂයෙන්ම චීන ආර්ථිකයේ බිඳවැටීම, එහි විනිමය දිගින් දිගටම අවප්‍රමාණය වීමත් කලාපයේ නැගී එන ආර්ථිකයක් ලෙසින් ශ්‍රී ලංකාවට බෙහෙවින්ම බලපානු ඇත. එසේම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ද මේ වන විට පවතින්නේ අස්ථාවර ම්ටටමකය. පසුගිය සතියේ දී WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 27 සීමාවෙන් මෙපිටට පැමිණීම මීට හොඳ නිදසුනකි.

    එමෙන්ම ආයෝජකයින්ගේ ආකර්ෂණය කොටස් වෙළෙඳපොළ වැනි ඉහළ අවදානමක් සහිත ආයෝජන වෙත යොමුවනවාට වඩා භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වැනි අවදානම රහිත සුරැකුම් වෙත යොමුවන ස්වභාවයක් පසුගිය දින කිහිපය තුළ නිරීක්ෂණය කළ හැකිවිය. මීට මනා උත්තේජනයක් සපයමින් පසුගිය සතිය තුළ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී වාර්තා ගත ලෙසින් පොළී අනුපාතික ඉහළ යාමක් දක්නට ලැබිණි. එහිදී දින 364 බිල්පත් අනුපාතිකය 7.95% දක්වා ඉහළ ගොස් තිබුණේ, ඒ සඳහා ගෙවී ගිය වසර දෙක තුළ වාර්තා වී ඇති ඉහළම අගය ලෙසිනි.