කොළඹ කොටස් 85 කින් උඩ පනී. පිරිවැටුම බිලියන 2.4 ඉක්මවයි.

    March, 10, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද දිනය තුළ දී ඒකක 85.88 කින් ඉහළ යන ලදී. මෙය පෙර දිනයට සාපේක්ෂව 1.46% ක වර්ධනයක් වන අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,948.23 ක් වශයෙන් වාර්තා විය.

    අද දිනය තුළ දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් අඛණ්ඩව දින 7 ක් කොටස් වෙළෙඳපොළ පහළ බැසීමෙන් පසුව මෙවැනි වර්ධනයක් වාර්තා වීමයි. එසේම ඉතා ‍ජවසම්පන්න දෛනික පිරිවැටුමක් දිනය තුළ වාර්තා වී තිබීම ද කැපී පෙණුනු කරුණක් විය.

    දිනය අවසානයේ දී දෛනික පිරිවැටුම රුපියල් 2,498,135,090.50 ක් ලෙසින් වාර්තා විය. මේ සඳහා විශාල දායකත්වයක් ලබා දෙන ලද්දේ අද දින සිදුවූ නවලෝක රෝහල් සමාගමේ කොටස් ගනුදෙනුවකි.

    කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි නවලෝක රෝහල් සමාගමේ තෙවැනි විශාලතම කොටස් හිමියා වූ ආචාර්ය ටී. සෙන්තිල්වේල් විසින් සිය කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සහ සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් එය මිල දී ගැනීම මෙහිදී සිදුව තිබේ.

    රු. 4.00 බැගින් නවලෝක කොටස් 305,897,873 ක් ගිවිසාගනු ලැබූ ගනුදෙනු 3ක් වශයෙන් මෙහිදී හුවමාරු වී තිබෙන අතර එමඟින් ජනනය වූ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 1.22 කි.

    දෛනික පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.98 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත්, රුපියල් බිලියන 2 ක් දේශීය විකුණුම් ලෙසත් මේ අනුව වාර්තා වී තිබිණි. දේශීය ආයෝජකයින්ට සාපේක්ෂව විදේශීය කොටස් ආයෝජකයින්ගේ හැසිරීම දිනය තුළ තරමක් මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කළ අතර රුපියල් මිලියන 511 ක විදේශීය මිල දී ගැනීම් සහ මිලියන 436 ක විදේශීය විකුණුම් දිනය තුළ වාර්තා වී තිබිණි.

    Video Story

    Stock Market

    Exchange Rates