කොළඹ වරායේ තොග පර්යන්ත ධාරිතාවය පුළුල් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් රු. බිලියන 2.5ක ආයෝජනයක්

    December, 24, 2021

    ටෝකියෝ සිමෙන්ති සමූහයට අයත් කොළඹ වරාය පර්යන්තයේ පිහිටි ධාරිතාවය පුළුල් කරන ලද නවතම සිමෙන්ති තොග ගබඩා සහ බෙදාහැරීමේ මෙහෙයුම් සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය නොබෝදා පැවැත්විනි.  ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා විසින් සිදුකල රුපියල් බිලියන 2.5 ක ආයෝජන ව්‍යාපෘතියක කූටප්‍රාප්තිය සටහන් කල මෙම උත්සවය, ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා සහ විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.  කොළඹ වරාය පර්යන්තයේ ගබඩා සහ බෙදාහැරීමේ මෙහෙයුම් ධාරිතාවය පුළුල් කිරීමේ ආයෝජන ව්‍යාපෘතිය, සැබෑ ශ්‍රී ලාංකික සමාගමක් ලෙස දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමූහය ගන්නා උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

    අභිනවයෙන් එක්කළ මෙට්‍රික් ටොන් 6,000ක බැගින් ධාරිතාවයෙන් යුත් ගබඩා සහ ඇසුරුම්කරණ පද්ධති තුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමෙන් පසු ටෝකියෝ සිමෙන්ති කොළඹ පර්යන්තයේ මුළු මෙහෙයුම් ධාරිතාවය වසරකට සිමෙන්ති මෙට්‍රික් ටොන් 450,000ක් දක්වා ඉහළ යනු ඇත.  කොළඹ වරාය පරිශ්‍රය කේන්ද්‍ර කරගත් සිමෙන්ති තොග ගබඩා, බෑග් ඇසුරුම් කිරීමේ සහ බෙදාහැරීමේ මෙහෙයුම් ධාරිතාවය වැඩිකිරීම මඟින් දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයන් සඳහා අඛණ්ඩ සිමෙන්ති සැපයුමක් සහතික කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගමට හැකියාව ලැබෙයි.

    කොළඹ වරාය පර්යන්තය පුළුල් කිරීමෙන් ටෝකියෝ සිමෙන්ති සමාගමේ තොග සිමෙන්ති ආනයන මෙහෙයුම් ධාරිතාවය වසරකට මෙට්‍රික් ටොන් 600,000 සිට මෙට්‍රික් ටොන් 1,000,000 දක්වා ඉහළ නැංවෙන අතර, එමඟින්  ටෝකියෝ සිමෙන්ති සමාගමේ මුළු දේශීය නිෂ්පාදන ධාරිතාවය වසරකට මෙට්‍රික් ටොන් 3,000,000 දක්වා ඉහළ යනු ඇත.  සංසන්දනාත්මකව බැලූවිට, නිමි භාණ්ඩයක් ලෙස සිමෙන්ති බෑග් ආනයනය කරනවාට වඩා, සිමෙන්ති තොග වශයෙන් ගෙන්වා රට තුල සිදුකරන ඇසුරුම්කරණ සහ බෙදාහැරීමේ මෙහෙයුම් වැඩි කිරීම තුලින් ජනනය වන ප්‍රතිලාභ, ඊට දායකවන විශාල දේශීය සැපයුම්කරුවන් ජාලයක් පුරා බෙදීයෑමෙන් රටතුල උත්පාදනය වන වත්කම් පරිමාව ද ඉහළ නංවයි.

    මෙම ව්‍යාපෘතියට සමගාමීව, ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් දෙසැම්බර් මාසය තුළ පමණක් කොළඹ පර්යන්තය හරහා බෙදාහරිනලද තොග සිමෙන්ති පරිමාව මෙට්‍රික් ටොන් 30,000 සිට 60,000 දක්වා දෙගුණයක් කෙරිනි.  දැනට වෙළඳපොලේ පවතින සිමෙන්ති හිඟය පියවීමට ඉක්මන් විසඳුමක් ලබාදීමට අමතරව, දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින පාරිභෝගිකයින් වෙත ඉහළ කාර්‍යක්ෂමතාවයකින් යුතුව සිමෙන්ති බෙදා හැරීමට ද ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ගන්නා ලද මෙම පියවර සාධනීය දායකත්වයක් සැපයීය.

    මීට අමතරව, ටෝකියෝ සිමෙන්ති සමාගමේ දේශීය නිෂ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් මිලියන 1 කින් ඉහළ නැංවීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීමද පසුගියදා ත්‍රිකුණාමලයේ දී සිදුකෙරිනි.  ලොව නවීනතම තාක්ෂණය භාවිතයෙන් සිදුකරනු ලබන ටෝකියෝ සිමෙන්ති නිෂ්පාදන මෙහෙයුම් පුළුල් කරවන මෙම ව්‍යාපෘතීන් හරහා, දිනෙන් දින ඉහළ යන දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ අවශ්‍යතාවයන් වඩාත් කාර්‍යක්ෂමව මෙන්ම උසස්ම ප්‍රමිතියෙන් යුතුව සපුරාලීම සමාගමේ අරමුණයි.  රට තුල සිදුකෙරෙන අගය එකතු කිරීමේ ක්‍රියාවලීන් හරහා අපගේ දේශීය ආර්ථිකය පොහොසත් කිරීමට මූලිකත්වය ලබාදෙන මෙම ප්‍රයත්නයන් මගින්, අප රටේ ප්‍රගමනයට ශක්තිය සපයන, දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස ටෝකියෝ සිමෙන්ති සමාගම ලබාදීඇති පොරොන්දුව නැවතත් තහවුරු කෙරේ.