කොළඹ විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ උපාධි පාඨමාලවේ විශිෂ්ටයාට කොමර්ෂල් බැංකුවෙන් රන් පදක්කමක්

    March, 14, 2018

    විශ්ව විද්‍යාල අධ්‍යාපනයේදී සිසුන් දක්වන අධ්‍යයන විශිෂ්ටත්වය ඇගයීම සඳහා කොමර්ෂල් බැංකුව ඉදිරිපත් වී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික පරිපාලනය සහ ගණකාධිකරණ පළමු උපාධි පාඨමාලාවේ හොඳම ප‍්‍රතිඵල ලබාගන්නා සිසුවා හෝ සිසුවිය සඳහා වාර්ෂිකව රන් පදක්කමක් ප‍්‍රදානය කිරීමට බැංකුව තීරණය කර තිබේ.

    මේ අනුව, කොමර්ෂල් බැංකුව විසින් මෙම උපාධි පාඨමාලාවේ හොඳම ප‍්‍රතිඵල සඳහා ලබාදෙන පළමු රන් පදක්කම මේ වසරේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී ලබාදෙන අතර එය ලබාගැනීමට සුදුසුකම් ලබන්නේ 2014 සිසු කණ්ඩායම අතුරින් පළමු පන්තියේ සාමාර්ථයක් සහ වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යයක් (GPA) ලබාගත් සිසුවා හෝ සිසුවියයි.

    මෙම රන් පදක්කම මේ වසරේ සිට වාර්ෂිකව ප‍්‍රදානය කරන අතර එක් අයෙකුට වඩා මේ සඳහා සුදුසුකම් ලබනවා නම් ඔවුන් සියළු දෙනාටම මෙම පදක්කම පිරිනමන බව බැංකුව සඳහන් කරයි.

    සේයාරුවෙන් දැක්වෙන්නේ මෙයට ආදාළ අනුග‍්‍රාහකත්ව චෙක්පත ප‍්‍රදානය කරන ආකාරයයි. (වමේ සිට) විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ ප‍්‍රධානී, ආචාර්ය තරුෂා ගුණරත්න මහත්මිය, කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පිඨයේ පිඨාධිපති, ආචාර්ය ප‍්‍රදීප් ධර්මදාස මහතා, කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා සහ බැංකුවේ මෙහෙයුම් ප‍්‍රධානී, ප‍්‍රියන්ති පෙරේරා මහත්මිය මෙම අවස්ථාවට සහභාගී විය.