කෝප් අතුරු වාර්තාවෙන් හෙළිවන තෙල් සංස්ථාවේ අප්සට් ගනුදෙනු මෙන්න!

    August, 5, 2014

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදීගැනීමට UAE නැමති විදේශීය සමාගම සමග එළැඹි ගිවිසුමේ ඇමරිකානු ඩොලර් 54 ක්වූ වාරිකය දෙවරක් ඇතුළත්වී තිබීම හේතුවෙන් සංස්ථාව විසින් එම සමාගමට ඇමරිකානු ඩොලර් 2,060,842 ක අතිරික්ත ගෙවීමක් සිදුකර තිබෙන බව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අතුරු වාර්තාවේ දැක්වේ.

    මෙම අතුරු වාර්තාව පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ඩිව් ගුණසේකර මහතා අද මාධ්‍ය දැනුවත් කළේය.

    වාර්තාවේ තවදුරටත් දැක්වෙන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව 2011.06.01 සිට 2012.06.30 කාලය දක්වා මිලදී ගත් ප්‍රමිතියෙන් තොර ඛනිජ තෙල් නිෂ්පාදන වෙනුවෙන් ලබා තිබූ ඇස්තමේන්තුගත අලාභය රුපියල් බිලියන 8.3 ක් බවයි.

    විද්‍යාගාර පරීක්ෂණ ප්‍රමාදවීම, සන්නිවේදන දුර්වලතා, නිරන්තරයෙන් වෙනස්වන වෙළඳ පොළ අභියෝගතා සඳහා ප්‍රමාණවත් සූදානමන් නොතිබීම, අතිරික්ත ගෙවීම්, ප්‍රසම්පාදන කටයුතුවල ප්‍රමාදයන්, ඉහළ සහ පහළ ඔක්ටේන් අගයන් ඇති පෙට්‍රල් මිශ්‍රවීම නිසා ඇතිවූ නාස්තිය වැනි කරුණු මෙම අලාභයට හේතුවී ඇත.

    විමර්ශනය කරන දිනය වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් “හෙජිං“ ගනුදෙනුව සඳහා දරා තිබෙන මුළු අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 75.28 ක් බව වාර්තාවේ සඳහන්ය.