ඛනිජ තෙල් මිල වාර්තාගත ලෙස තව තවත් පහළට

    December, 11, 2014

    ලෝක වෙළඳ පොළට සැපයෙන ඛනිජ තෙල් අතිරික්තය ඉහළ යාම හමුවේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල අවුරුදු පහකට පසුව වාර්තා වන අඩුම මිල දක්වා පහළ බැස තිබේ.

    ලබන වසරේදී ලෝක ඛනිජ තෙල් අවශ්‍යතාවය පහළ බසිනු ඇතැයි ඔපෙක් සංවිධානය විසින් පුරෝකතනය කර තිබීමද ඛනිජ තෙල් මිල ගණන් වාර්තාගත ලෙස පහළ යාමට හේතුවක්ව තිබෙන අතර ඇමරිකාව විසින් ලෝක වෙළඳ පොළට සපයන ඛනිජ තෙල් ප්‍රමාණයද අනපේක්ෂිත ලෙස වැඩිවී ඇතැයි සඳහන්ය.

    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ පසුගිය ජුනි මාසයේ මැද සිට මේ දක්වා බ්‍රෙන්ට් බොරතෙල් මිල ගණන් සියයට 43 කින් පමණ පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන බවත් බදාදා දිනය වනවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 64 කට ආසන්න මිලක් වූ බවයි.

    තව දුරටත් මිල අඩු වෙයිද ?

    විශ්ලේෂකයින් සඳහන් කර තිබෙන්නේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් තවදුරටත් පහළ යා හැකි බවත් ඛනිජ තෙල් බැරලයක මිල ඩොලර් 50 ක් දක්වා අඩුවීමේ හැකියාවක් තිබෙන බවයි.

    ලබන වසරේදී ලෝක වෙළඳ පොළේ දෛනික ඛනිජ තෙල් ඉල්ලුම බැරල් මිලියන 28.9 ක් දක්වා පහළ යනු ඇති බවත් මෙය වසර දහයකට පසුව වාර්තාවන අඩුම දෛනික ඉල්ලුම බව ඔපෙක් සංවිධානය සඳහන් කර තිබේ.