ඛෙත්තාරාමේ අන්තිම මැච් එකෙත් ටිකට් ඉවරයි

    August, 26, 2016

    ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ මීළඟට කොළඹ දී පැවැත්වීමට නියමිත එකම තරඟය වන දෙවන විස්සයි 20 තරඟයේ සියලු ප්‍රවේශ පත් මේ වන විට විකිණී අවසන් බව වාර්තා වේ.

    මෙම තරඟාවලියේ ටිකට් අලෙවිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පත්කරන ලද නියෝජිත ආයතනයේ නිල වෙබ් අඩවියේ මේ බව සඳහන් වේ. ඊට අනුව එළඹෙන සැප්තැම්බර් 09 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවන විස්සයි 20 ක්‍රිකට් තරඟයේ සියලු ටිකට් පත් අලෙවි වී අවසන්ය.

    එම වෙබ් අඩවියට අනුව ලබන ඉරිදා දඹුල්ලේ පැවැත්වෙන තුන්වන එක්දින තරඟය සඳහා ද මේ වන විට ඉදිරි වී ඇත්තේ රු. 100, රු. 300 හා රු. 500 කාණ්ඩවල ටිකට්පත් පමණි. රු. 750, 1500 හා 2000 කාණ්ඩවල සියලු ටිකට් මේ වන විට අලෙවි වී අවසන් බව එහි සඳහන් වේ.

    මීට පෙර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති පළමු හා දෙවන එක්දින තරඟවල සියලු ප්‍රවේශ පත්‍ර ද තරඟයට දිනි කිහිපයකට පෙර අලෙවී වී අවසන් වී තිබුණි.