ගම්පහ සහ පුත්තලම දිස්ත‍්‍රික්කවල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට කොමර්ෂල් බැංකුවේ සවිබලය

    February, 16, 2017

    මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් සංවර්ධනය කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ ගම්පහ සහ පුත්තලම දිස්ත‍්‍රික්ක නියෝජනය කරන ව්‍යවසායකයින් 160 දෙනෙකු දැනුවත් කිරීමේ වැඩසටහනක් බැංකුව විසින් පසුගියදා වෙන්නප්පුවේදී පැවැත්විය.

    මෙම වැඩසටහනේ ප‍්‍රධාන කථිකයා වූයේ ප‍්‍රමුඛ දේශකයෙකු මෙන්ම ව්‍යාපාර සංවර්ධන දිරිගන්වන්නෙකු වන චන්දන ගුණවර්ධන මහතායි. ව්‍යාපාර සංවර්ධනය තුළින් සවිබල ගැන්වීම සහ තිරසාරත්වය පිළිබඳව මෙම වැඩසටහනේදී දැනුවත් කෙරුණි.

    මෙම වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුවේ කළාපීය කළමනාකාරිණී, - උතුරු කොළඹ දර්ශනී පෙරේරා මහත්මිය සහ බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහ ප‍්‍රදේශයේ ශාඛා කළමනාකරුවන් පිරිසක් සහභාගී විය.

    කොමර්ෂල් බැංකුව විසින් මේ ආකාරයේම වැඩසටහන් පිරිමි සහ කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීම සඳහා ශ‍්‍රී ලංකාවේ බොහෝ පළාත්වල පවත්වන අතර මේ දක්වා බැංකුව විසින් ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන සහ ධාරිතාවන් ගොඩනැංවීමේ වැඩසටහන් 59 ක් දිවයින පුරා පවත්වා ඇත. උතුරු, නැගෙනහිර, උතුරු මැද, දකුණු, ඌව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල පැවැත්වූ මෙම වැඩසටහන් මගින් ව්‍යවසායකයින් 5,200 කට වැඩි සංඛ්‍යාවක් ප‍්‍රතිලාභ ලැබූ බව බැංකුව සඳහන් කරයි.

    ජාතික ව්‍යවසායත්ව සංවර්ධන අධිකාරිය (NEDA) සමග එක්ව 2016 වසරේදී කාන්තාවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් මාතර ප‍්‍රදේශයේ බැංකුව විසින් පැවැත්වූ අතර මේ සඳහා දකුණු පළාතේ සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායිකාවන් 100 කට වැඩි දෙනෙකු සහභාගී විය.

    මෙම වැඩසටහන් සඳහා කොමර්ෂල් බැංකුවට අයත් කෘෂිකාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක (AMFUs) 15 ක් මගින් සහයෝගය ලැබුණු අතර ජනතාවගේ කෘෂි කාර්මික ක‍්‍රියාකාරකම් හෝ ක්ෂුද්‍ර ව්‍යාපාර දියුණු කිරීමේදී ඒවායේ ප‍්‍රමුඛතාවයන් හඳුනා ගැනීම සඳහා මෙම ඒකක මගින් කොමර්ෂල් බැංකුවට සහයෝගය ලබාදෙයි. මීට අමතරව, කෘෂි කාර්මික ණය සහ ක්ෂුද්‍ර මූල්‍යනයන් ප‍්‍රවර්ධනය කිරීමටත් මෙම ව්‍යවසායකයින්ට විශේෂ සහයෝගයන් ලබාදීමටත් මෙම ඒකක කටයුතු කරනු ඇත.

    කොමර්ෂල් බැංකුවේ කෘෂිකාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකක (AMFUs) රත්නපුරය, නාරම්මල, මහනුවර, අනුරාධපුරය, කිලිනොච්චිය, බණ්ඩාරවෙල, වැල්ලවාය, හිඟුරක්ගොඩ, ගලේවෙල, අච්චුවේලි, වව්නියාව, කාත්තන්කුඩි, තිස්සමහාරාමය, නෙළුව සහ පොතුවිල් යන ප‍්‍රදේශවල පිහිටා ඇත.

    සේයාරුවෙන් දැක්වෙන්නේ වෙන්නප්පුවේ පැවති ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ වැඩසටහනයි.