ග්‍රීසියේ ආර්ථීකය ඉවරෙටම ඉවරයි. ගෙවාගත නොහැකි ණය කන්දට රටම යටවේ

    June, 29, 2015

    ග්‍රීසියේ මූල්‍ය පද්ධතිය බිඳ වැටීම වැලැක්වීම සඳහා එරට බළධාරීන් විසින් මේ වනවිට එරට බැංකු වසා දමා තිබෙන අතර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ලබාගත හැකි මුදල් ප්‍රමාණයද දැඩි ලෙස සීමාකර ඇතැයි වාර්තා වේ.

    මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ග්‍රීසියේ කොටස් වෙළඳ පොළේ සහ බැඳුම්කර වෙළඳ පොළේ ගනුදෙනුද මේ වනවිට අත්හිටුවා තිබෙන බවයි.

    එරට විසින් පසුගිය ඉරිදා මෙම ක්‍රියා මාර්ග නිවේදනය කළ අතර ග්‍රීසිය මේ වනවිට ලබාගෙන තිබෙන ණය නොගෙවීමටත් යූරෝ කළාපයෙන් ඉවත් වීම සඳහාත් ක්‍රියා කරමින් තිබෙන බව සඳහන්ය.

    මේ අනුව, ආර්ථීක විශ්ලේෂකයින් සඳහන් කරන්නේ යුරෝපීය නායකයින් මේ වනවිට යූරෝ මුදල් ඒකකය සම්බන්ධයෙන් ඉතිහාසයේ දරුණුතම අවස්ථාවකට මුහුණ දී සිටින බවයි. මෙම අර්බුදය විසඳා ගන්නා මෙන් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාද ජර්මනියේ චාන්සලර්වරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    මෙම අර්බුදය වඩාත් උග්‍රවී තිබෙන්නේ ග්‍රීසිය බේරා ගැනීමේ සාකච්ඡා සඳහා සහභාගී වූ එරට නියෝජිතයින්ව ග්‍රීසිය විසින් පසුගිය සිකුරාදා එම සාකච්ඡා වලින් ඉවත් කර ගැනීම නිසයි.

    ග්‍රීසියේ අගමැතිවරයා වන අලෙසිස් සිප්රාස් යුරෝපය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කෙටුම්පත් කර තිබෙන යෝජනාව දැඩි ලෙස විවේචනය කරමින් සඳහන් කර තිබෙන්නේ ජූලි 05 වනදා එම යෝජනාව ජනමත විචාරණයක් සඳහා යොමු කරන බවයි.

    මේ අතර, යුරෝපීය මහ බැංකුව ඊයේ සඳහන් කළේ ග්‍රීසියේ කිසිදු බැංකුවකට ඉදිරියේදී කිසිදු හදිසි සහයෝගයක් ලබා නොදෙන බවයි.
    ග්‍රීසිය බේරා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන මෙම සැලසුම ක්‍රියාත්මක නොවන්නේ නම් ග්‍රීසිය ලබාගෙන තිබෙන ණය ගෙවා ගැනීමට නොහැකි වී එරටට යූරෝ කළාපයෙන් ඉවත් වීමට සිදුවන බව විශ්ලේෂකයින් සඳහන් කර තිබේ.

    මෙවැනි වාතාවරණයක් තුළ ග්‍රීසිය විසින් එරට බැංකු වලට ප්‍රාග්ධන පාලනයක් හා සීමා පනවා තිබෙන අතර මේ නිසා එරට වැසියන් දැඩි අසීරුතාවයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

    මෙම බැංකු ජූලි 06 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙන අතර දිනකට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් ලබාගත හැකි මුදල් ප්‍රමාණය යූරෝ 60 ක් දක්වා පහත දමා ඇතැයි සඳහන්ය. මෙම කාලය තුළදී එරට කොටස් වෙළඳ පොළ වසා තැබෙනු ඇත.

    කෙසේවෙතත්, සංචාරකයින්ට තවමත් මෙම සීමාවන් පනවා නොමැති බවත් විදේශ රටවල ණයපත්, හරපත් වැනි ඉලෙක්ට්‍රොනික කාඩ්පත් මගින් සුපුරුදු පරිදි මුදල් ආපසු ලබාගත හැකි බවත් සඳහන්ය.

    හෙට වනවිට ග්‍රීසිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනිවාර්යෙන්ම ණය ගෙවිය යුතුව තිබෙන නමුත් එය පැහැර හැරීම සඳහා එරට මේ වනවිටත් තීරණය කර ඇතැයි වාර්තාවේ.

    ග්‍රීසියේ රාජ්‍ය ණය වලින් බොහෝ ප්‍රමාණයක් වෙනත් රජයන් විසින් දරන අතර ආයෝජකයින් විසින් දරන්නේ මින් සුළු ප්‍රමාණයකි.
    gd
    එරට විසින් මේ වනවිට පනවා තිබෙන ප්‍රාග්ධන පාලනය කිරීම් හමුවේ සංචාරකයින් සහ ආයෝජකයින් තවදුරටත් ග්‍රීසිය හැරයනු ඇති බවත් මේ නිසා එරට අර්බුදයෙන් අර්බුදයට පත්වනු ඇති බවත් සඳහන්ය.