ගාමිණී ලොකුගේ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට 

    March, 22, 2023

    බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ඊයේ (21) නිතරඟයෙන් තේරි පත්විය. ඒ මහතා තේරී පත් වූයේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙනි.

    උක්ත කාරක සභාව ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, අභිනව සභාපතිවරයා අදහස් දක්වමින් කමිටුවේ කටයුතු සාර්ථකව පවත්වා ගැනීමට සියළු සාමාජික මන්ත්‍රීවරයන්ගේ සහයෝගය ඉල්ලා සිටියේය.

    එයට අමතරව කාරක සභාවේ විෂය පථයට අදාල ආයතන ප්‍රධානීන් කැඳවා සාකච්ඡා කිරීමටද මෙහිදී කමිටු සාමාජිකත්වය එකඟ විය.

    ශ්‍රී ලංකාවේ බැංකුකරණ, රක්ෂණ සහ වෙනත් මූල්‍ය ක්ෂේත්‍ර සේවාවන්හි කටයතු වලට අදාළ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ සලකා බැලීම සඳහා මෙම කාරක සභාව පිහිටුවනු ලැබීය.

    මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, උදය ගම්මන්පිල, ඉරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, බී.වයි.ජී. රත්නසේකර, සම්පත් අතුකෝරළ සහ යදාමිණි ගුණවර්ධන යන මහත්වරු සහභාගී වූහ.