ගුවන් තොටුපල 3 ක් ජාත්‍යන්තරයට – ගැසට් නිවේදනය නිකුත් වෙයි

    October, 16, 2019

    මෙතෙක් කලක් මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක් භාවිතයට ගැනුණු ගුවන් තොටුපල 3 ක් ජාත්‍යන්තර ගුවන් තොටුපල බවට පත්කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.

    ඊට අනුව යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල, මඩකළපුව ජාත්‍යන්තර ගුවන් තොටුපල හා රත්මලාන, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල, ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ඇතුළුවීමේ සහ පිටවීමේ අනුමත තොටුපල ලෙසින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව අංක 2145/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

    යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන් යානය ලෙසින් ඊයේ (15) දිනයේ දී ඉන්දියාවේ එයාර් එලයන්ස් ගුවන් සේවයට අයත් යානයක් පරීක්ෂණ චාරිකාවක යෙදී තිබේ. මෙම ගුවන් තොටුපල හෙට (17) දිනයේ දී නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය.

    මේ අනුව ශ්‍රී ලංකාව තුළ තිබෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංඛ්‍යාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හා මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල සමඟ 5 ක් දක්වා ඉහළ යනු ඇත.