ගුවැන්ෂූ තේ ප්‍රදර්ශනයේ දී ‘සිලෝන් ටී’ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටි වෙත චීන අමුත්තන්ගේ ඉහළ ආකර්ෂණයක්

    December, 8, 2021

    ගුවැන්ෂු හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය චීන තේ අලෙවිකරණ සංගමයේ සහ ගුවන්ග්දොන් තේ වෘත්තිකයින්ගේ සංගමයේ සත්කාරකත්වයෙන් 2021 නොවැම්බර් 25 සිට 29 දින දක්වා පැවැත්වුණු තේ අලෙවි ප්‍රදර්ශනය සඳහා චීනයේ පිහිටි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලංකා තේ නිෂ්පාදන සමාගම් 5ක සහභාගීත්වය සංවිධානය කළේය.

    මෙම අලෙවි ප්‍රදර්ශනයේ දී ‘සිලෝන් තේ’ ප්‍රභේද ප්‍රදර්ශනය කිරීමෙන් සහ ඒවායේ අද්විතීය සම්භවය සහ

    ගුණාත්මකභාවය පිළිබඳ විස්තර කිරීමෙන් අනතුරු ව සහභාගීවූවන් හට සිලෝන් තේ අලෙවි කරනු ලැබිණි. සිලෝන් තේ රස විඳීමටත් මිලදී ගැනීමටත් ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි අමුත්තන් බොහොමයක් දිරිගන්වමින් තේ ආශ්‍රිත ශ්‍රී ලාංකීය කෙටි ආහාර නිෂ්පාදන සමඟ තේ සාම්පල රස බැලීමට මෙහි දී අවස්ථාව හිමි විය. එසේම ශ්‍රී ලංකා සමාගම්වලට තේ සඳහා වන ගැනුම්කරුවන් කිහිප දෙනෙකු සොයා ගැනීමටත් දේශීය හා ජාත්‍යන්තර ප්‍රදර්ශකයින් සහ අනෙකුත් තේ ආශ්‍රිත ආයතන සමඟ සබඳතා ගොඩ නගා ගැනීමටත් මෙම අලෙවි ප්‍රදර්ශනයේ දී හැකියාව ලැබිණි. පසුගිය වර්ෂවල පැවැත්වූ තේ ප්‍රදර්ශන සඳහා ද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තේ නිෂ්පාදන සමාගම් විසින් ශ්‍රී ලංකා තේ නියෝජනය කරමින් කිහිප වරක් ම සහභාගී වී ඇත.

    වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගී වූ ගුවැන්ෂූ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටි වෙත පැමිණි අතර ගෝලීය තේ වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සඳහා ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ගෝලීය තේ වෙළඳ ප්‍රදර්ශනයේ නියෝජිතවරිය වන මා චිලෑන් වැනි ප්‍රකට අමුත්තන් සමඟ සුහද සබඳතා පැවැත්වීය.

    මෙම ගුවැන්ෂූ තේ ප්‍රදර්ශනය ජාත්‍යන්තර තේ සමාගම් අතර අන්‍යෝන්‍ය සබඳතා පවත්වාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙන් ම ඔවුනොවුන්ගේ තේ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් නව වෙළඳපල ගවේෂණය කිරීම සඳහා පවත්වනු ලබන දේශීය හා ජාත්‍යන්තර වේදිකාවන් සහිත වෘත්තීය ප්‍රදර්ශනයකි. 2003 වසරේ සිට වාර්ෂික ව පැවැත්වෙන මෙම අලෙවි ප්‍රදර්ශනය දකුණු චීනයේ පැවැත්වෙන දේශීය හා ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ලෙස ඉහළ පිළිගැනීමක් පවතී.

    වෘත්තීය ගැනුම්කරුවන් සහ අමුත්තන් 750,000කට අධික පිරිසක් සමඟින් ප්‍රමුඛ දේශීය සහ ජාත්‍යන්තර තේ සමාගම් 1000කට ආසන්න ප්‍රමාණයක් මෙවර ප්‍රදර්ශනය සඳහා සහභාගි වූහ. නේපාලය, වියට්නාමය සහ ලාඕසයේ ජාත්‍යන්තර සමාගම් ද මෙම තේ ප්‍රදර්ශනයට සහභාගී විය.