ගූගල් බැලුම කඩාවැට්ටුවේ හිටපු ජනාධිපති – හරින් පාර්ලිමේන්තුවේ දී කියයි

    November, 23, 2020

    පසුගිය යහපාලන රජය සමයේ තමා ඩිජිටල් අමාත්‍යවරයාව සිටිය දී ක්‍රියාත්මක කළ ගූගල් බැලුන් ව්‍යාපෘතිය කඩාකප්කල් කරනු ලැබුවේ එවකට හිටපු ජනාධිපතිවරයා විසින් බව සමගි ජනබලවේගයේ  ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. අද (23) දින පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර, එවකට සිය ඩිජිටල් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ යුතුව තිබුණු පාසැල් ළමයින්ට ටැබ් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතිය අධ්‍යාපන අමත්‍යාංශයට ලබා දීමෙන් එය ද අසාර්ථක වූ බව වැඩිදුරටත් කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ  ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු හරින් ප්‍රනාන්දු මහතා ,

    “අද ගූගල් බැලුම තිබුණා නම්, ඒ ගූගල් ලූන් කියන ප්‍රොජෙක්ට් එක, මම කෙලින්ම විවෘතව කියනවා ඒක කඩාකප්පල් කළේ එවකට හිටපු ජනාධිපතිවරයා. TRC එක යටතේ තිබුණු ඒ ගූගල් ලූන් ප්‍රොජෙක්ට් එක ලෝක තිබුණ Best 100 Innovations වලින් පළවෙනි 10 තියෙන එක. ඒ ගූගල් ලූන් එකට ලංකා රජයෙන් සත 5 ක් ගෙව්වේ නැහැ. ඒ ගූගල් ලූන් ප්‍රොජෙක්ට් එක ගෙනාපු වෙලාවේෙ මට අවස්ථාවක් තිබුණා සිලිකන් වැලියට ගිහිල්ලා ගූගල් ආයතනයේ අයිතිකාරයා පෞද්ගලිකව මුණ ගැහෙන්න. ඒ පුද්ගලයා ලංකාවේ ආර්ථිකයට වඩා ලොකුයි. සර්ජි බ්‍රින්. දේශපාලනය වෛරය මේ තාක්ෂණයට ගේන්න හොඳ නැහැ. අද ජනාධිපතිතුමා බිලියන 15ක් TRC එකට වෙන් කරලා තියෙනවා 4G දෙන්න. හැබැයි අර බැලුමේ වැඩේ කළා නං ලංකාවේ කිසිම තැනක වයිට් ස්පේස් එකක් නැතුව 4G  තාක්ෂණය දෙන්න තිබුණා.“

    “එවකට හිටපු ජනාධිපතිවරයා, එයාගේ මල්ලිව සභාපති කරලා ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ මාව නාමමාත්‍ර ඇමති කරලා අන්තිමට ඒ වැඩකටයුත්ත කරගෙන යන්නට කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ. සංඛ්‍යාත Spectrum අපිට දෙන්න එතුමා අතහැරියා. ඒ ව්‍යාපෘතිය ලංකාවෙන් ගලවලා ගිහිල්ලා කෙන්යාවට දීලා අද මුළු කෙන්යාවෙම 4G  තාක්ෂණය තිබෙනවා. අද බලන්න ඒක කොච්චර වටිනවාද, මේ වෙලාවේ ළමයි zoom එකෙන් පංති කාමර කරන්නේ. ලොක්ඩවුන් එක තියෙන වෙලාවේ Work from Home සංකල්පය ගේන්න තිබුණා ගරු කථානායකතුමනි.“

    “අපි මොනවාද කළේ කියලා අහනවා, ඔය ෆයිබර් ඔප්ටික් කියන තාක්ෂණය යාපනයට යනකං ස්ථාපිත කළේ අපේ කාලය තුළ දී. අපේ ආණ්ඩුව තමයි, විවේචනය කරන්න ඕන තැනදී විවේචනය කරන්න මම පැකිළෙන්නේ නැහැ. එදා ඉස්සෙල්ලාම පංති කාමරවලට ඩිජිටල් පංති කාමර ගෙනල්ලා ලංකාවේ රෝයල් කොලේජ් එකේවත් නැති ඩිජිටල් පංති කාමරයක් බදුල්ලේ විශාඛා විද්‍යාලයේ අපි හදලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන් නූතන තාක්ෂණයෙන්. ඒ වෙලාවේ තමයි මම රනිල් වික්‍රමසිංහ මහත්මයාට කිව්වේ හැම ළමයෙකුටම ටැබ් එකක් දෙන වැඩපිළිවෙලක් අපි කරමු කියලා. නියම වැඩේ කියන්නේ මේ වගේ බජට් එකක් යනවා. ව්‍යාපෘතිය ගෙනාවා. මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් සියලු දේ හදලා ඔක්කොම කරලා තිබ්බා. හොරකම් කරන්න කිසිම දෙයක් බැරි ඉතාම විවෘත ක්‍රමවේදයක් ගෙනාවා. බජට් එක එනකොට ඩිජිටල් අමාත්‍යාංශය යටතට තමයි මේක එන්න ඕනේ. ඒ කාලේ අපේ මුදල් ඇමතිතුමා බජට් එක කියන් යනවා. අන්න ප්‍රොජෙක්ට් එක දීලා අධ්‍යාපන අමාත්‍යාංශයට, එතනින් ඒක එහෙම්මම කෙළවෙලා ගියා. මොකද දැන් ඩීල් ගහන්න. ඒ පැත්තෙත් ඩීල්, මේ පැත්තෙත් ඩීල්, නැහැ කියන්නේ නැහැ. හොරු හිටියා හැම පැත්තෙම. ඒකෙන් අද දුක් විඳින්නේ මේ රටේ ඉන්න අහිංසක ළමයා.“