ගොල්ෆ් ක්‍රීඩාංගන 5 ක් ඇතුළුව හම්බන්තොට-මොණරාගල අක්කර 12,000 ක ආයෝජන කලාපයක්

    March, 25, 2019

    හම්බන්තොට ඉදිවෙන ආයෝජන කලාපය හරහා රටේ සමස්ත ආර්ථිකයම පරිවර්තනයකට ලක්කරනු ලබන බවත්, මත්තල, හම්බන්තොට හා මොණරාගල ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ඉදිකෙරෙන අක්කර 12,000 ක ආයෝජන කලාපය තුළ විශාල සංචාරක කලාප ද ඉදි කෙරෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ තුළ ගොල්ෆ් ක්‍රීඩාංගන පහකට අධික සංඛ්‍යාවක් ඉදිකිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.

    ඊයේ (24) මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ යෝජිත මහා පරිමාණ ඛනිජ තෙල් පිරිපහදුව සහ සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

    “හම්බන්තොට ආයෝජන කලාපයේ පළමු අදියර වන මෙම කොටස අක්කර 6,000 ක් විශාලයි. අප දැනට ආරම්භ කර තිබෙන්නේ මේ පළමු අදියර පමණයි. මොණරාගල දිස්ත්‍රක්කයේ තවත් අක්කර 6,000 ක ආයෝජන කාලාපයක් පිහිටු වනවා. අපි වැඩ පෙන්වන්නේ කටින් නොව ක්‍රියාවෙන් පමණයි. මෙම ආයෝජන කලාප ඉදිකිරීම හරහා මේ ප්‍රදේශය තුළ කෙතරම් පරිවර්තනයක් ඇති වනවා ද යන්න පිළිබඳව ඔබ කල්පනා කළ යුතුයි“, යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.