ගොවි පවුල් 3,000 කට සෙත සලසමින් මහවිලච්චියේ ගොවි පුහුණු මධ්‍යස්ථානය යළි ඇරඹේ

    April, 24, 2017

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, පේමදූව ප්‍රදේශයේ අලුත්වැඩියා කරන ලද ගොවි පුහුණු මධ්‍යස්ථානය සහ කෘෂිකර්ම උපදේශක කාර්යාලය කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති සහ පුහුණු) එස්.ඒ. අරුණප්‍රිය මහතා පසුගියදා විවෘත කළේය. යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මෙම ව්‍යාපෘතිය දියත් කළේය.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මකවන ගොවි පුහුණු මධ්‍යස්ථානය මීට වසර 20කට පමණ පෙර ආරම්භ කෙරුණ ද, පැවති යුදමය වාතාවරණය හේතුවෙන් වසර ගණනක පටන් එය වසා තැබිණ. ඒ හේතුවෙන්, මහවිලච්චිය ප්‍රදේශයේ ගොවි ජනතාවට අවශ්‍ය පුහුණු වැඩසටහන් ප්‍රධාන වශයෙන් පැවැත්වූයේ ගමේ ප්‍රජා ශාලාවලදීය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ගොවි පුහුණු මධ්‍යස්ථානයේ සහ කෘෂිකර්ම උපදේශක කාර්යාලයේ නවීකරණ කටයුතු ආරම්භ කළ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ඊට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා දුන් අතර, එමගින් ප්‍රතිලාභ හිමිවන ගොවි පවුල් සංඛ්‍යාව 3000ක් පමණ වේ.

    “කෘෂිකාර්මික වශයෙන් ඉතා ඉහල විභවයක් සහිත මහවිලච්චිය ව්‍යාපාරයේ ගොවි ජනතාවට කෘෂිකාර්මික අංශයෙන් දැනුම, හුරුව හා උපදෙස් ලබාගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල ගොඩනැගිල්ල හා පුහුණු මධ්‍යස්ථානය නවීකරණය කිරිම ඉතා අගය කොට සලකමි. ගොවි පුහුණු සැසි සඳහා ස්ථානයක් නිර්මාණය කර දීමට අමතරව ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් හා උපකරණ අංගසම්පූර්ණව ලබාදීමද පැසසුමට ලක් කරමි. යුද්ධය නිසා අවතැන්ව එයින් පීඩා විදි ගොවි ජනතාව වෙනුවෙන් කෘෂිකාර්මික අංශයෙන් දියුණුවක් අත්කර ගැනීමට ඔවුන් වෙත ආහාර හා කෘෂිකර්ම සංවිධානය දැක්වූ සහයෝගයට නැවත ස්තූතිවන්ත වෙමි.” යනුවෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති සහ පුහුණු) එස්.ඒ.අරුණප්‍රිය මහතා සඳහන් කළේය.

    මහවිලච්චිය ප්‍රදේශයේ පිහිටි මෙම පුහුණු මධ්‍යස්ථානය තුළින් බෝග වගාව, කෘෂිකාර්මික යෙදවුම් භාවිතය සහ ක්‍රියාවට නැංවීම ඇතුළු තාක්ෂණික සහ ප්‍රායෝගික අංශ රැසක් ඔස්සේ පුහුණුව ලබා දීමට අපේක්ෂිතය. තවද ගෙවිලියන් සඳහා කෘෂි නිෂ්පාදන සහ දේශීය ආහාර නිෂ්පාදනය පිළිබඳ පුහුණුව ලබා දීම ද මේ හරහා සිදු කෙරේ. සියලු පුහුණු වැඩසටහන් ගොවි ජනතාව සඳහා නොමිලයේ පිරිනැමෙන අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වෙනත් රාජ්‍ය ආයතනවල සම්පත් දායකයන් විසින් එම පුහුණු සැසි මෙහෙයවනු ලැබේ.

    "EU-SDDP වැඩසටහනේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම හරහා FAO සංවිධානය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර පැවති සබඳතාව තවදුරටත් සවිමත් වුණා. අපගේ අරමුණ, කෘෂිකාර්මික සංවර්ධනය තුළින් දිළිඳුකම අවම කිරීමයි. සම්පත් සහ තාක්ෂණික මෙවලම් වැඩිදියුණු කිරීම ඒ සඳහා ගත හැකි එක් සුවිශේෂී පියවරක් බව අප හඳුනා ගත්තා. ගොවි ජනතාවගේ ඵලදායීතාව වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන හා ආදායම් මට්ටම් ඉහළ නැංවීම සඳහා අඛණ්ඩව පුහුණු අවස්ථා සලසා දීමට අප කටයුතු කළේ ඒ අනුවයි" FAO-SDDP ව්‍යාපෘති කළමනාකාරිනී රෝහිණී සිංගරායර් මහත්මිය ප්‍රකාශ කළාය.

    මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් පළ කරමින් යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයේ ශ්‍රී ලංකා ප්‍රධානී ලිබූසේ සුකුපෝවා මෙනවිය සඳහන් කළේ, ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය සහ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම යුරෝපා සංගමය ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛත්වය ලබා දී ඇති අංශ වන බවයි. මෙරට සංවර්ධනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ගොවීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා දායකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳ තමන් ඉතා සතුටු වන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

    මිලියන භාගයක පමණ ජනතාවක් ජීවත්වන මෙරට යුද්ධයට මැදි වූ සහ මායිම් වූ උතුරු හා නැගෙනහිර දිස්ත්‍රික්ක හතක් ආවරණයවන පරිදි ඒවායේ දිළිඳුකම අවම කිරීම, ආර්ථික, සමාජ සංවර්ධනය ඇති කිරීම සඳහා අනෙකුත් දිස්ත්‍රික්ක සමග පරතරය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කෙරේ. සමස්ත EU-SDDP වැඩසටහන සඳහා වැය කෙරෙන මුදල යුරෝ මිලියන 60 කි. EU-SDDP වැඩසටහන UNDP, UNICEF, UNOPS, FAO සහ ILO යන එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ IFC එක්ව ක්‍රියාත්මක වේ.