ගෝල්ඩන් කී නඩුවෙන් අගවිනිසුරු ඉවත් වූයේ ඇයි ?

    July, 28, 2014

    ලැබී තිබෙන නිර්නාමික ලියුමක් පදනම් කර ගනිමින් අග විනිසුරු මොහාන් පීරිස් මහතා අද ගෝල්ඩන් කී නඩුවේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඉවත් වූ බව ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ නව අධ්‍යක්ෂවරියක වන දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය අප සමග පැවසීය.

    ඇය සඳහන් කළේ මෙම නඩුව අද හදිසියේ කැඳවූ අවස්ථාවේදී අග විනිසුරු මොහාන් පීරිස් මහතා ඉවත් වනබව දැනුම් දුන් බවයි.

    තමා සෙලාන් බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙන නිසා මෙම විනිසුරු මඩුල්ලේ සිටීම සදාචාර විරෝධී බව පවසමින් මෙම නිර්නාමික ලිපිය ලැබී ඇතැයි අගවිනිසුරුවරයා දැනුම් දුන්බව හපුගොඩ මහත්මිය සඳහන් කළාය.

    බංකොලොත් වූ ගොල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ මුදල් තැන්පත් කළ දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සහ තවත් තැන්පතු කරුවන් 23 දෙනෙකු විසින් තමන්ගේ තැන්පතු මුදල් ගෙවන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා තිබෙන්නේ 2009 වසරේ මාර්තු 23 වනදායි.

    නඩුවේ විනිසුරු මඩුල්ල සඳහා අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පත්ව තිබුණේ 2013 අප්‍රේල් මාසයේ සිටයි.

    හපුගොඩ මහත්මිය සඳහන් කළේ සැප්තැම්බර් 01 වනදා නඩුව යළි කැඳවන බවත් එහිදී පුරප්පාඩු වූ විනිසුරු තනතුරට නව විනිසුරුවරයෙකු පත් කරනු ඇති බවයි. මෙම නඩුවේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ මොහාන් පීරිස් මහතාට අමතරව කේ. ශ්‍රීපවන් සහ රෝහිණි මාරසිංහ යන විනිසුරුවරුන් ඇතුළත්ව සිටී.

    සෙලින්කෝ සමූහයට අයත් වූ බංකොලොත් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ මුදල් තැන්පත් කළ දහස් ගණනක පිරිසක් සිය තැන්පතු ආපසු ලබා ගැනීමට නොහැකි වී මේ වනවිට අසරණව සිටී.