ගෝල්ඩන් කී මුදල් මහ බැංකුව ගෙවන බවට මුදල් ඇමතිගෙන් සහතිකයක්. නඩු ඉල්ලා අස්කර ගනී

    May, 13, 2015

    මහ බැංකුව විසින් නියාමනය නොකළ ලලිත් කොතලාවල මහතාට අයත්ව තිබූ බංකොලොත් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීමේ කාර්ය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරියේදී භාරගනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.
    ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන් පිරිසක් අද මුදල් අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේදී ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙම සාකච්ඡාවේදී තැන්පතු කරුවන් එකඟ වී තිබෙන්නේ ඔවුන්ගේ මුදල් ආපසු ලබාගැනීම වෙනුවෙන් ඔවුන් විසින් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමට හා එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පනවා තිබෙන සියළුම නඩු ඉල්ලා අස්කර ගැනීමටයි.

    ඊළඟ නඩු වාරය පැමිණෙන මැයි 18 වනදා මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමට එකඟ වී තිබේ.

    මුදල් අමාත්‍යවරයා පැවසුවේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ හඳුනාගෙන තිබෙන වත්කම් වලින් මහ බැංකුව තැන්පතු කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම ආරම්භ කරනු ඇති බවත් සමාගමේ සහ අධ්‍යක්ෂවරුන් සතු අනිකුත් වත්කම් අනාවරණය කර ගැනීමට නව පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

    රුපියල් මිලියනයක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් ගෙවීම මාසයක් ඇතුළතත්, රුපියල් මිලියන 10 ක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් මාස දෙකක් ඇතුළතත් ගෙවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යවරයා පැවසීය.
    ඉතිරිය ගෙවීමට සැලසුම් කර තිබෙන්නේ මේ වසර අවසන් වීමට පෙරයි.