ගෝලීය අස්ථාවරත්වය හමුවේ මෙරට ආර්ථික ස්ථායිතාව රැක ගැනීමට පියවර ගන්නැයි ලංකා වානිජ මණ්ඩලය ඉල්ලා සිටී

    March, 17, 2026

    මැදපෙරදිග උද්ගත වෙමින් පවතින යුධමය වාතාවරණය හමුවේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීතාවය රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන්, රජය සමඟින් එක්ව කටයුතු කිරීමට සූදානම් බව ලංකා වානිජ මණ්ඩලය පවසයි.

    පවතින තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට ඇති විය හැකි ආර්ථික අවදානම් කිරීම සඳහා ලංකා වානිජ මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණය රැසක් ද පසුගිය මාර්තු 11 දින රජය වෙත නිර්දේශ කර තිබේ.එහිදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සහ ඉදිරි ණය වාරික නියමිත කාලයට ලබා ගැනීම ප්‍රමුඛතාවයක් ලෙස පවත්වා ගැනීම, ඉන්ධන මිල නියම කිරීමේ ක්‍රමවේදය වඩාත් ගතික ආකාරයකට යාවත්කාලීන කිරීම සහ ඉන්ධන බෙදාහැරීම සඳහා QR ක්‍රමය නැවත හඳුන්වාදීම වැනි කරුණු ඇතුළත් වී ඇත. ඉන්ධන බෙදාහැරීම සම්බන්ධ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් පියවර කිහිපයක් ගෙන තිබීම පිළිබඳව ලංකා වානිජ මණ්ඩලය සිය ප්‍රසාදය පළ කර සිටී.

    මීට අමතරව, ඉදිරි කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර තොග සුරක්ෂිත කිරීම, ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම, සංචාරක ප්‍රවර්ධනය ශක්තිමත් කිරීම සහ විශේෂයෙන් ඉන්දියාව සහ නැගෙනහිර ආසියානු වෙළඳපොළ ඉලක්ක කර ප්‍රචාරණ වැඩසටහන් ඉහළ දැමීමද නිර්දේශ කර තිබේ.

    එසේම භාණ්ඩ නිශ්කාෂණ කටයුතු කඩිනම් කරමින් වරායේ කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා ලෙසත්, ගෝලීය අස්ථාවරතාවත්වය හමුවේ පවතින විදේශ විනිමය සංචිත මත අමතර පීඩනයක් ඇති කළ හැකි ප්‍රතිපත්ති නැවත සමාලෝචනය කිරීම අවශ්‍ය බවත් ලංකා වානිජ මණ්ඩලය අවධාරණය කරයි.

    මෙම නිර්දේශ මත පදනම් වෙමින්, ආර්ථික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ප්‍රමුඛ අංශ ආරක්ෂා කිරීම සඳහා අමතර පියවර කිහිපයක්ද ලංකා වානිජ මණ්ඩලය විසින් මෙම සතිය තුළ රජයට යෝජනා කර ඇත. එනම්,

    1. සැපයුම් දාමයන් හි බාධා ඇතිවුවහොත් ඉන්ධන සහ විදේශ විනිමය ඇතුළු ප්‍රධාන සම්පත් වෙන් කරනු ලබන අත්‍යාවශ්‍ය සේවාවන් සහා ප්‍රමුඛ ආර්ථික ක්ෂේත්‍රයන් පිළිබඳ පැහැදිලි ලැයිස්තුවක් නම් කරන ලෙස ලංකා වානිජ මණ්ඩලය රජයට නිර්දේශ කරයි.

    2. එමෙන්ම, ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගේ පුළුල් සැපයුම් ගිවිසුම් සොයා බැලීම ඇතුළුව ඉන්ධන මිලදී ගැනීම සඳහා උපායමාර්ගික ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවද වානිජ මණ්ඩලය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගුවන් යානා ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවද එහි සඳහන් වේ.

    3. බලපත්‍රලාභී ඉන්ධන ගබඩා පහසුකම් ඇති දේශීය සමාගම්වල සඳහා අපනයන ආශ්‍රිත කර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ස්වාධීනව ඉන්ධන මිලදී ගෙන සැපයීමට ඉඩ ලබා දීමටද වානිජ මණ්ඩලය යෝජනා කර ඇත. එවැනි ක්‍රමවේද පසුගිය ආර්ථික අර්බුද සමයේදීද සාර්ථකව භාවිත කළ බව මණ්ඩලය පෙන්වා දෙයි.

    4. ආර්ථික ක්‍රියාකාරකම් පවත්වාගෙන යමින් ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා, රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට හැකි ස්ථානවල දුරස්ථ වැඩ (Work from Home) ඇතුළුව නම්‍යශීලී සේවා ක්‍රමවේද සලකා බැලීමට ද වෙළඳ මණ්ඩලය යෝජනා කරයි.

    5. ඉන්ධන, ආහාර, ඖෂධ සහ අපනයන කර්මාන්ත වෙනුවෙන් අවශ්‍ය යෙදවුම් වෙනුවෙන් හැර අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය වෙනුවෙන් රටින් පිටට ඩොලර් ගලා යාම තාවකාලිකව සීමා කිරීමට නිර්දේශ කර සිටී.