ගෝලීය විලාසිතා විශිෂ්ටත්වය සහ විද්‍යාර්ථීන්ගේ නිර්මාණශීලී කෞෂල්‍යය එකට යා කරන SLIIT හි අභිමානවත් VogueFest’26 විලාසිතා දැක්ම උත්කර්ෂවත් ලෙස දියත් කෙරේ

    July, 13, 2026

    නිර්මාණශීලිත්වය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්ව අභිලාෂයන් ඇගයීමට ලක් කෙරෙන, මෙරට ප්‍රමුඛතම වාර්ෂික විලාසිතා සැණකෙළිය වන VogueFest’26 තෙවන වරටත් අඛණ්ඩව දියත් කිරීමට සූදානම් වන බව SLIIT Business School ඉමහත් ප්‍රමෝදයෙන් යුතුව නිවේදනය කරයි. හුදෙක් ආකර්ෂණීය විලාසිතා දැක්මකට එහා යමින්, උසස් අධ්‍යයන විශිෂ්ටත්වය සහ වර්ණවත් විලාසිතා ක්ෂේත්‍රය එකිනෙක යා කරන සුවිශේෂී මාවතක් බවට පත්ව ඇති VogueFest, නැගී එන තරුණ දක්ෂතාවලට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා සම්බන්ධ වීමටත්, කලාත්මක නිර්මාණශීලිත්වය සහ ව්‍යාපාරික උපායමාර්ගයන් මුසු කිරීමටත් අගනා අවස්ථාවක් සලසා දෙයි.

    මෙම උදාර දැක්මෙහි ප්‍රධානතම පදනම වන්නේ, එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ මැන්චෙස්ටර් විලාසිතා ආයතනය විසින් පිරිනමනු ලබන, ජාත්‍යන්තරව පිළිගත් BSc (Hons) Fashion Business and Management උපාධි පාඨමාලාවයි. පාරිභෝගික රුචිකත්වයන් මත සමස්ත ව්‍යාපාරික චින්තනය සහ ක්‍රියාකාරීත්වය තීරණය වන, ශීඝ්‍රයෙන් පරිණාමය වන ගෝලීය විලාසිතා කර්මාන්තයේ ඉල්ලුමට සරිලන පරිදි මෙම උපාධි පාඨමාලාව සුවිශේෂී ලෙස ව්‍යුහගත කර ඇත. නවීනතම විලාසිතා දැනුම සහ තීරණාත්මක ව්‍යාපාරික කුසලතාවන් එකට ඒකාබද්ධ කිරීම හරහා, නිර්මාණශීලිත්වය, වෙළෙඳපොළ ප්‍රවණතා සහ උපායමාර්ගික තීරණ ගැනීම් වැනි සංකීර්ණ අභියෝගයන් සාර්ථකව ජයගත හැකි අනාගත නායකයින් බිහි කිරීමට මෙම වැඩසටහන මඟින් සිසුන් බලගන්වයි. VogueFest’26 යනු දේශනශාලා තුළදී සිසුන් ලබන සෛද්ධාන්තික ඥානය සැබෑ වෘත්තීය ලෝකයේ විලාසිතා ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගිකව ක්‍රියාවට නංවා පෙන්වන සජීවී සාක්ෂියකි.

    VogueFest’26 යනු හුදු විලාසිතා දැක්මක් පමණක් නොව, එය මීළඟ පරපුරේ විලාසිතා නිර්මාණකරුවන්, නිරූපණ ශිල්පීන් සහ ව්‍යවසායකයින් අභිෂේක ගන්වන සුවිශේෂී මංගල්‍යයකි. විලාසිතා සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අනාගත නායකයන් පෝෂණය කිරීම උදෙසා SLIIT Business School සතු කැපවීම මනාව පිළිබිඹු කරමින්, ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන තරුණ නිර්මාණකරුවන්ට සහ නිරූපණ ශිල්පීන්ට තම දක්ෂතා පුළුල් ජනතාවක් වෙත ප්‍රදර්ශනය කිරීම සඳහා වෘත්තීය මට්ටමේ විචිත්‍රවත් වේදිකාවක් මෙමඟින් නිර්මාණය වේ. මෙවර දැක්මේ හොඳම නිර්මාණකරු, හොඳම පිරිමි නිරූපණ ශිල්පියා, හොඳම කාන්තා නිරූපණ ශිල්පිනිය, වඩාත්ම ජනප්‍රිය පිරිමි නිරූපණ ශිල්පියා සහ වඩාත්ම ජනප්‍රිය කාන්තා නිරූපණ ශිල්පිනිය ඇතුළු ආකර්ෂණීය කාණ්ඩ රැසකින් සමන්විත වේ. මෙහිදී ප්‍රේක්ෂක සහභාගීත්වය සහ ප්‍රජා දායකත්වය දිරිගැන්වීම සඳහා "වඩාත්ම ජනප්‍රිය" සම්මානය තීරණය කරනු ලබන්නේ ප්‍රවේශ පත්‍ර මත පදනම් වූ මනාප සහ සමාජ මාධ්‍ය ජනප්‍රියත්වය එකිනෙක මුසු කළ නව්‍ය ක්‍රමවේදයක් ඔස්සේ වන බැවින්, දක්ෂතා ඇගයීමේදී මහජනතාවගේ හඬට ද සුවිශේෂී තැනක් හිමිවේ. මෙම උත්සවයේ අභිමානය සහ ආකර්ෂණය තව තවත් තීව්‍ර කරමින්, මෙහි සමස්ත රංග වින්‍යාසය (Choreography) මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සහ කීර්තිමත් නාමයක් වන රොසෑන් ඩයස් මහත්මිය විසිනි. ඇය සතු අතිමහත් අත්දැකීම් සම්භාරය සහ නිර්මාණශීලී කෞෂල්‍යය මෙම සංදර්ශනයට ඉහළ වෘත්තීය ගාම්භීරත්වයක් සහ චමත්කාරයක් එක් කරනු නොඅනුමානය.

    ප්‍රධාන විලාසිතා දැක්මට අමතරව, මෙවර VogueFest’26 වැඩසටහන වසරේ නැගී එන විලාසිතා ව්‍යවසායකයා සහ VogueFest Sketch Showcase යන විවෘත තරඟකාරී අංශ දෙකකින් තවදුරටත් පුළුල් කර ඇත. විවිධත්වයට ගරු කිරීම, නිර්මාණාත්මක ගවේෂණය දිරිගැන්වීම සහ විලාසිතා ක්ෂේත්‍රයේ පවතින සාම්ප්‍රදායික සීමාවන් බිඳ දමන නව්‍ය ව්‍යාපාරික අදහස් ලොවට හෙළිදරව් කිරීම මෙහි මූලික අරමුණ වේ. සැබවින්ම VogueFest යනු හුදු උත්සවයක් පමණක් නොව, එය අනාගත ක්ෂේත්‍ර නායකයින් බිහි කරන තෝතැන්නක් මෙන්ම, අධ්‍යයන ලෝකය සහ වෘත්තීය ක්ෂේත්‍රය එකිනෙක යා කරන සුවිශේෂී සංයෝජනයකි. මෙරට ප්‍රමුඛ පෙළේ විලාසිතා නිර්මාණකරුවන්, සන්නාමයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සමීපව කටයුතු කිරීමට සිසුන්ට අවස්ථාව සලසා දීම තුළින්, උසස් අධ්‍යාපන පාඨමාලා මඟින් සැබෑ ලෝකයට කෙතරම් ප්‍රබල බලපෑමක් කළ හැකිද යන්න මෙමඟින් මැනවින් සනාථ වේ. එය සැබවින්ම BSc (Hons) Fashion Business and Management උපාධි පාඨමාලාවේ සැබෑ හරය මනාව කියාපාන අතර, කලාත්මක හා විලාසිතා ව්‍යාපාරික ක්ෂේත්‍රය පිළිබඳ මනා නිපුණතාවයකින් යුක්ත මෙන්ම, ඉහළ තරඟකාරීත්වයකින් යුත් ගෝලීය වෙළෙඳපොළ මෙහෙයවීමට සූදානම් උපාධිධාරීන් පිරිසක් රටට දායාද කරයි.

    මෙම සුවිශේෂී සන්ධිස්ථානය සාර්ථක කර ගැනීම සඳහා විලාසිතා සන්නාමයන්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ ආයතනික හවුල්කරුවන් වෙත SLIIT Business School උණුසුම් අයුරින් ආරාධනා කර සිටියි. මෙම සහයෝගීතාවයන් නවෝත්පාදනය, වෘත්තීය සබඳතා ගොඩනැගීම සහ දැනුම හුවමාරු කර ගැනීම සඳහා ඉතා වැදගත් වන අතර, ශ්‍රී ලංකාවේ නැගී එන නිර්මාණශීලී තරුණ දක්ෂතා සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වීමට ව්‍යාපාරික ආයතනවලට කදිම අවස්ථාවක් ද සලසා දෙයි. VogueFest’26 සමඟ අත්වැල් බැඳගැනීම තුළින්, ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ට විලාසිතා ක්ෂේත්‍රයේ හෙට දවස හැඩගැස්වීම සඳහා සක්‍රීය දායකත්වයක් සැපයිය හැකි අතර, නව පරපුරේ නිර්මාණකරුවන්, නිරූපණ ශිල්පීන් සහ ව්‍යවසායකයින්ගේ වර්ධනයට අනුග්‍රහය දැක්විය හැකිය. මේ පිළිබඳ සහයෝගීතා විමසීම් සහ හවුල්කාරිත්ව අවස්ථා සඳහා umesha.d@sliit.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ +94 76 659 6276 දුරකථන අංකය මඟින් උමේෂා දාබරේ මහත්මිය සම්බන්ධ කරගත හැක.

    විලාසිතා ක්ෂේත්‍රයේ නිර්මාණශීලිත්වය, විවිධත්වය සහ නවෝත්පාදනය උත්කර්ෂයට නංවන සජීවී වේදිකාවක් වෙමින්, VogueFest’26 උත්සවය 2026 අගෝස්තු 28 වන දින මාලබේ SLIIT පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙම සුවිශේෂී ප්‍රයත්නය හරහා, අධ්‍යයන විශිෂ්ටත්වය, නිර්මාණශීලිත්වය සහ නොබියව නවෝත්පාදනයන් කරා යාම වෙනුවෙන් තමන් සතු නොසැලෙන කැපවීම SLIIT Business School නැවත වරක් තහවුරු කරයි. මෙම උත්සවය සැබවින්ම විලාසිතා, දක්ෂතාවය සහ ගෝලීය විලාසිතා ක්ෂේත්‍රය පරිවර්තනය කිරීම උදෙසා අධ්‍යාපනය සතු ප්‍රබල ශක්තිය කියාපාන අමතක නොවන අත්දැකීමක් වනු ඇත.