චීනයට තිබූ තැන මෝදි ආක්‍රමණය කරයි. වීසා සහන සමග බිලියන ගණනක ආයෝජන වලට මුල පිරේ

    March, 13, 2015

    1987 පසුව ශ්‍රී ලංකාවට පැමිණි පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස වර්තමාන රජය සමග පැවති ඵලදායී සාකච්ඡා පිළිබඳව තමා සතුටට පත්වන බවත් එය දෙරට අතර සම්බන්ධතාවය තව තවත් තර කර ගැනීමට ඉවහල් වනු ඇති බවත් ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවසීය.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පිළිගැනීමේ උත්සවයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙම සංචාරය නිසා නව අවස්ථාවන් විවෘත වන බවයි.

    ලංකා ඉන්දීය තෙල් සමාගම සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඒකාබද්ධව ත්‍රිකුණාමලයේ චීන වරායේ තිබෙන ඛනිජ තෙල් ගබඩා කිරීමේ තෙල් ටැංකි ඒකාබද්ධව සංවර්ධනය කිරීමට අද එකඟත්වයකට පැමිණි බවත් මේ සඳහා ඒකාබද්ධ කාර්ය සාධන බලකායක් පත් කිරීමට නියමිත බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී කීය.

    මේ අනුව, ඉන්දියාවේ අපේක්ෂාව වන්නේ ත්‍රිකුණාමලය කළාපීය ඛනිජ නිෂ්පාදන මධ්‍යස්ථානයක් කිරීමට සහයෝගය ලබාදීම යැයි මෝදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    දෙරට අතර සම්බන්ධතාවල ප්‍රධාන කුළුණු වන්නේ ආර්ථික සහයෝගීතාවය යැයි අවධාරණය කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ පසුගිය දශක දෙක තුළ දෙරට අතර වෙළඳාම විශාල ලෙස වර්ධනය වී තිබෙන බවයි.

    මෙරට දුම්රිය අංශය සංවර්ධනය කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 318 ක අළුත් ණය මුදලක් ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබෙන අතර මෙම මුදල් මෙරට දුම්රිය මාර්ග පුනරුත්ථාපනය කිරීම වෙනුවෙන් යොදා ගැනීමට නියමිත වේ.
    එසේම, ඉන්දීය රිසර්ව් බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 1.5 ක මුදල් ස්වැප් ගිවිසුමක් අත්සන් කිරීමට එකඟ වී තිබෙන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනාවරණය කළේය. ඔහු පැවසුවේ මෙම ගිවිසුම ලංකා රුපියල ස්ථායීව පවත්වාගෙන යාමට උපකාරී වනු ඇති බවයි.

    මීට අමතරව, ලබන වසරේ අප්‍රේල් 14 වනදා සිට මෙරට සංචාරකයින් ඉන්දියාවට යෑමේදී, එනවිට ක්‍රියාත්මක වීසා ක්‍රමයක් (on arrival) හඳුන්වා දෙන බවත් දෙරටේ රේගු අතර සහයෝගීතාවය වර්ධනය කරමින් වෙළඳාම සරල කිරීමට සහ තීරු බදු නොවන බාධාවන් අඩු කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.

    කොළඹ සහ නවදිල්ලිය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් බවත් ධීවර ප්‍රශ්නය පිළිබඳව දෙරට අතර ගැඹුරින් සාකච්ඡා සිදුකර තීරණයක් ගැනීමට සූදානම් බවත් මෝදි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    ඉන්දියාවේ සහයෝගයෙන් සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමේ වැදගත්කමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    චීනයෙන් මිදී ඉන්දියාවට ලංවීම

    වර්තමාන රජය චීනයට වඩා ඉන්දියාවට දක්වන ලැදියාවත් ශ්‍රී ලංකාවේ තිබෙන උපාය මාර්ගික වැදගත්කම නිසා ඉන්දියාව මෙරටට තිබෙන ආකර්ශනයත් මෝදි අග්‍රාමාත්‍යවරයාගේ මෙම කතාවෙන් මනාව පිළිඹිබු වේ.

    ඉන්දියානු සාගරයේ උපාය මාර්ගික ස්ථානයක ලංකාව පිහිටා තිබීම නිසා පසුගිය සමයේදී චීනය ලංකාවේ ආර්ථික කටයුතු වලට මැදිහත් වීමට වැඩි උනන්දුවක් දැක්වූ බවත් මේ නිසා ඉන්දියාව පෙසෙකට තල්ලුවී තිබුණු බවත් ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි.

    කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් සින්නක්කරව චීනයට යම් හෙක්ටයාර් ප්‍රමාණයක් ලබාදීමට පසුගිය රජය විසින් එකඟත්වය පළකර තිබීම ඉන්දියාවේ කණස්සල්ලට හේතුවී තිබුණු බවද ප්‍රසිද්ධ රහසකි.

    විශ්ලේෂකයින් සඳහන් කරන්නේ ලංකාව තුළ ඉන්දියාවට අහිමි වූ ස්ථානය මෝදි අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තුළින් නැවත තහවුරු කර ගැනීමට සමත්වී තිබෙන බවයි.

    චීනය විසින් සිදුකරන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මේ වනවිට අත්හිටුවා තිබෙන අතර මේ සම්බන්ධයෙන්ද චීනය සිය කණස්සල්ල පළකර තිබේ.