චීන්නුන්ගේ වීසා ප්‍රතිපත්තිය වෙනස් කරන්න – ජේම්ස් පැකර්

    April, 24, 2014

    චීන සංචාරකයින් විසින් වියදම් කරන මුදල් ප්‍රමාණය මේ වනවිට විශාල ලෙස වැඩිවෙමින් තිබෙන නිසා එයින් ඕස්ට්‍රේලියාවට වඩාත් වාසි අත්කර ගැනීමට නම් චීන සංචාරකයින් වෙනුවෙන් ඕස්ට්‍රේලියාව අනුගමනය කරන වීසා ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුබව ක්‍රවුන් කැසිනෝ සමාගමේ ප්‍රධානී ජේම්ස් පැකර් පවසා තිබේ.

    මේ පිළිබඳව වාර්තා කරමින් විදෙස් මාධ්‍ය පවසන්නේ චීන සංචාරකයින් වෙනුවෙන් ඕස්ට්‍රේලියාව අනුගමනය කරන වීසා ප්‍රතිපත්තිය පැකර්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙන බවයි.

    චීන සංචාරකයින් වෙනුවෙන් ඕස්ට්‍රේලියාව විසින් වීසා ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් නොකරන්නේ නම් ඔවුන්ගෙන් ලැබිය හැකි විශාල ආදායම් රටට අහිමිවන බව මෙහිදී හෙතෙම සඳහන් කර තිබේ. මේ වනවිට, ඕස්ට්‍රේලියාව විසින් මැන්ඩේරියන් භාෂාවෙන් වීසා අයදුම්පත් ඉදිරිපත් නොකිරීමත් ඒවා අන්තර් ජාලය ඔස්සේ ලබාගැනීමට නොහැකි වීමත් අවාසි ලෙස හෙතෙම පෙන්වා දී ඇත.

    ආර්ථික විශ්ලේෂකයින් පවසා තිබෙන්නේ පැකර්ගේ මෙම ප්‍රකාශය තමන්ගේ කැසිනෝ ව්‍යාපාරය සඳහා වාසි ලබාගැනීමේ අරමුණෙන් කර තිබෙන එකක් බවත් පසුගිය වසරේදී ක්‍රවුන් කැසිනෝ හි, ඩොලර් බිලියන 2.8 ක් පමණ වන ආදායම් වලින් අඩක් පමණම ලැබී තිබෙන්නේ චීන සංචාරකයින්ගෙන් බවයි.